‘දේශපාලකයා’ සහ ‘දේශපාලනඥයා’
යනු වත්මන් වහරේ වැඩි අරුත් වෙනසෙකින් තොර වැ යෙදෙන පද දෙකෙකි. මේ පද යුගලය
වෛකල්පික වැ යෙදීමේ වහර බෝ කළාහු පසු ගිය දසක කිහිපයේ පුවත්පත් කලාවේදීහු ය. ‘දේශපාලකයා’
මෙන් මැ ‘දේශපාලනඥයා’ යනු ද සංස්කෘතයේ ‘√දේශ’ යන නාම ප්‍රකෘතිය හා ‘√පාල්’ යන ධාතු ප්‍රකෘතිය
මුල් කොට සෑදුණු සමාස පද යි. පොදු උපතක් ඇත්තේ වුව ද ‘පාලක’ සහ ‘පාලනඥ’ යන පද
සියුම් ලෙස විමසන්නකුට පෙනී-යනුයේ එකිනෙකින් මහත් සේ වෙනස් අරුත් දෙකෙකි. ‘පාලක’
යනු ‘පාලනය කරන්නහු’ ය; ‘පාලනඥ’ යනු ‘පාලනය දත්තහු’ ය (කුමාරණතුංග, 1936: 04). මේ
අනුවැ හැම දේශපාලනඥයකු මැ දේශපාලකයකු නො වන බවත් හැම දේශපාලකයකු මැ දේශපාලනඥයකු නො
වන බවත් අමුතුයෙන් පැහැදිය යුතු නො වේ. දේශපාලකයන් හා දේශපාලනඥයන් අතර මේ වෙනස අපට
වැදැගත් වනුයේ ප්‍රතිපත්ති ගරුක දේශපාලනඥයකු වූ නමුත් කිසි දා මැතිසබයේ අසුනක් හෙබැවූ
දේශපාලකයකු නො වූ ජයන්ත වීරසේකරයන් ගේ ජාතික දේශපාලන සේවාව මඳ විසින් මුත්
විමර්ශනය කිරීම සඳහා ය.
1895ක් වූ ජනවාරි 14 වැනි දා උපන් ජුලියස් ආර්. වීරසේකරයන් 1946ක් වූ ජුනි 18 වැනි දා ජයන්ත වීරසේකරයන් හැටියට දැයෙන් සමු ගන්නා තුරු සිය දිවිය මැ කැප කෙළේ බස-රැස-දෙස වෙනුයෙනි. කුමාරතුංග මුනිදාසයන් ගේ අග සවු සේ මැ හෙළ හවුලේ මුල් මැ ඇතුළතකු ද වූ ඔහු කුමාරතුංගයන් සේ මැ දේශවාත්සල්‍යයෙන් හා ජාතිකානුරාගයෙන් හා ඔද වැඩුණු අදීනයෙක් වූ හ. ඒ බව සුබස වැනි සඟරාවලට නිතොර ලිපි සපයමින් කුහු පුහුවන් ගේ ගුඩු අදහස් මඩිනු වස් ඔවුන් පැවැත්වූ අභීත සිංහනාද ඇසුදුටුවෝ දනිති. එ හෙත් ‘ලංකා ජාතික සංගමයේ’ ඇතුළතකු ලෙස ඔවුන් කළ කී දෑ තව මත් පවත්නේ සැඟැවැ-ගත් ගමන් ය. එ බැවින් තත් සංගමයේ ක්‍රියාකාරිකයකු ලෙස බස-රැස-දෙස වෙනුයෙන් වීරසේකරයන් කළ දේශපාලනික සේවාව හඳුන්වා-දීමට අපි වෑයම් කෙරෙමු. පහත දැක්වෙන සඳහන ඒ සඳහා මනා ප්‍රවේශයක් සපයයි:
“... එකල ‘හෙළ හවුලේ’
සාමාජිකයන් අතුරෙන්, ජාතික දේශපාලන ක්‍ෂේත්‍රයේ ක්‍රියාකාරී ව සිටි වැදගත් ම
පුද්ගලයා වූයේ ජයන්ත වීරසේකර යි. සිංහල භාෂාව වෙනුවෙන් ‘සටනක්’ කිරීමේ අවශ්‍යතාව
පසක් කරගෙන සිටි ඔහු, ‘ලංකා ජාතික සංගමය’ මඟින් ද එම අරමුණු මුදුන් පත් කරගැනීමට
කටයුතු කළේ ය. ලංකා ජාතික සංගමයේ ක්‍රියාකාරීන් වූ ජේ. ආර්. ජයවර්ධන, ඇස්. ඩබ්ලිව්.
ආර්. ඩී. බණ්ඩාරනායක වැනි දේශපාලනඥයන් සමඟ සමීප සම්බන්ධතාවක් ගොඩ නඟාගෙන සිටි නිසා,
තම භාෂාව පිළිබඳ ඉල්ලීම් ඔවුන් ලවා ඉටු කරගැනීමේ අවස්ථාව ද වීරසේකරට ලැබිණ. සිංහලය
රාජ්‍ය භාෂාව බවට පත් කිරීමේ අරමුණ ඇති ව, 1943 දී ජේ. ආර්. ජයවර්ධන විසින් රාජ්‍ය
මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කරන ලද යෝජනාව සඳහා ජයන්ත වීරසේකර වැනි භාෂානුරාගීන්ගේ
අදහස් ද බලපෑම් ඇති කළ බව කිව හැකි ය...” (කෝපරහේවා, 1999: 100)
මෙහි සඳහන් ‘ලංකා ජාතික සංගමය’ (Ceylon National Congress) යනු විවිධ ජන කොටස් නියෝජනය කළ උගත් ලාංකිකයන් පිරිසක් එකමුතු වී ජාතික
නිදහස දිනා-ගැනීම සඳහා 1919ක් වූ දෙසැම්බර 11 වැනි දා පිහිටුවා-ගත් සංවිධානයෙකි.
සුළු පරිමාණයේ සිංහල බෞද්ධ සංවිධාන ද ස්වදේශික ප්‍රභූන් ද අන්‍ය ජාතිකයන් ද එක් වී
‘භාරත ජාතික සංගමය’ (Indian
National Congress) පූර්වාදර්ශයට ගෙන පිහිටුවා-ගත් මේ ආයතනය මුල පටන් මැ
කටයුතු කෙළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන
මඟින් සූක්‍ෂ්ම ලෙස ඉංගිරිසි අධිරාජ්‍යවාදීන් ගෙන් නිදහස දිනා-ගැනීමට යි (Roberts,
1977: iii). ඩී. බී. ජයතිලකයන්, එෆ්. ආර්. සේනානායකයන් වැනි සිංහල ජන නායකයන් සේ මැ පොන්නම්බලම්
අරුනාචලමයන්, ටී. බී. ජයාවන් වැනි අන්‍ය ජාතික ජන නායකයෝ
ද මේ සංවිධානයේ මුල් ඇතුළත්තු වූ හ. දේශපාලනික, වාර්ගික,
ආගමික ආදි මත භේදවලින් තොර වැ පොදු ජාතික චින්තනයෙකින් යුතු වැ
නිදහස පිණිස එ වක සටන් කළ එක මැ ආයතනය වූයේ ලංකා ජාතික සංගමය බව ඇතැමෙක් හඟිති. දහ
නව වැනි සියවසේ අග පටන් ජාතික නිදහස දිනා-ගනු පිණිස නොයෙක් සංවිධාන විටින් විට
ඇරැඹුණු නමුත් ඒ අතර වඩාත් තිර වැ පැවැත්තේ ලංකා ජාතික සංගමය යි.
හෙළ හවුලේ මෙන් මැ ලංකා ජාතික සංගමයේ ද පෙරැළි කළ ජයන්ත වීරසේකරයන් ගේ ජාතිකත්ව චින්තනය වූකලී හත්තක් මෙන් හිටි වන මැ පිපුණේ නො වේ. ඒ වනාහි කෙමෙන් දළු ලා වැඩී අතු පතර වීදා සුවිසල් වනස්පතිඳකු බවට පත් වූ සත් සිතුමෙකි. හෙළ හවුල සහ ලංකා ජාතික සංගමය වැනි ජාතික සංවිධාන හා බැඳීමට පෙර පටන් මැ වීරසේකරයන් කළ කී දෑ විමසා-බැලීමෙන් ඒ බව පළට වේ. තම දෙමාපියන් ගෙන් ලැබුණු ‘ජුලියස්’ යන පර භාෂා නාමය අත්හැර ‘ජයන්ත’ යන ආර්ය සිංහල නාමය වැලැඳ-ගැනීමට තුරුණු වියේ දී මැ වීරසේකරයන් පෙලැඹී ඇත්තේ අනගාරික ධර්මපාලතුමන් හා පියදාස සිරිසේනයන් ගෙන ගිය ජාතික ව්‍යාපාරය කෙරෙහි තුබූ ඇල්ම නිසා බව පැහැදිලි ය (විජයතුංග, 2003: 126). එ තැන් පටන් ඔවුන් ප්‍රකට වූයේ අද පවා කවුරුනුත් දන්නා ‘ජයන්ත වීරසේකර’ නාමයෙනි. කුමරතුඟු ඇසුරට පත් වැ හෙළ හවුලට බැඳී යම් කලක් ගිය පසු තුමූ මැ පෙළපත් නම මුලට සිටින පරිදි ‘වීරසේකර ජයන්ත’ යනුයෙන් යළි දු නම සකසා-ගත්හ. අභාවයෙන් පසු ‘විරුසේකර ජයත්’ යන හුදු හෙළ නමින් ඔවුන් පතළ කැරැවූවෝ නම් සෙසු කුමරතුඟු අනුයයුවෝ ය.
ලංකා ජාතික සංගමයේ ක්‍රියාකාරිකයකු ලෙස ජයන්ත වීරසේකරයන්
ඉටු කළ මෙහෙය පිළිබඳ වැ විමසා-බැලීමට මත්තෙන් ඔවුන් ඒ හා බැඳුණේ කවර දා දැ යි නිශ්චය
කැරැ-ගැනීමට අපි වෑයම් කෙරෙමු. වීරසේකරයන්
ලංකා ජාතික සංගමයේ ආදි මැ සාමාජිකයකු වූ බව සඳහන් වන නමුත් (විජයතුංග, 2003: 136) ඔවුන් එහි සාමාජිකත්වය
ලැබූ දිනය නිශ්චය වසයෙන් කිය නො හේ. 1937 වසරට පෙර සංගමයට බැඳුණු ඇතුළතුන් ගේ නාම ලේඛන
සංරක්‍ෂණය වී නැති අතර 1937 -1943 වකවනුයෙහි ලංකා ජාතික සංගමයට බැඳුණු ඇතුළතුන් ගේ
නාම ලේඛනයෙහි ජයන්ත වීරසේකර නාමය සඳහන් නො වේ. එ බැවින් වීරසේකරයන් ලංකා ජාතික
සංගමයේ ඇතුළතකු වී ඇත්තේ 1937 වසරට පෙර බව නිසැක ය.
ජාතික සංගමයේ රැස්වීම්
වාර්තාවෙක මුලින් මැ වීරසේකරයන් ගේ නම සඳහන් වනුයේ 1943ක් වූ නොවැම්බර 06 වැනි දා පෙ.ව.
10:30ට බොරැල්ලේ තත් සාංගමික කාර්යාලයයේ දී පැවැති සමස්ත ලංකා ජාතික සංගම් කාරක
සභා රැස්වීම් (All
Ceylon Congress Committee Meeting) වාර්තාවේ බව පවත්නා මූලාශ්‍රය
ඇසුරින් නිගමනය කළ හැකි ය (Roberts, 1977: 798). 1943 වසරට
පෙර සමස්ත ලංකා ජාතික සංගම් කාරක සභා සාමාජික නාමාවලියේ වීරසේකරයන් ගේ නම නො පැනෙන
අතර පළමු වරට ඔවුන් ගේ නම ඒ නාමාවලියට ඇතුළත් වැ ඇත්තේ ද 1943 වසරේ දී බව පෙනේ (Roberts, 1977: 75). ඒ අනුව ආදි
මැ ඇතුළතකු වූ වීරසේකරයන් පළමු වරට එහි ජාතික මට්ටමේ කාරක සභාවකට ඇතුළත් වූයේ ඉහත මුළුව පැවැති 1943ක් වූ නොවැම්බර 06 වැනි දා
යැ යි සිතනු යෙදේ.
1944
වසර සඳහා නව නිලදරු මඬුල්ල පත් කැරැ-ගැනීමට පැවැති මේ මුළුවට සහභාගී වූ පිරිස අතර
අනගාරික ධර්මප්‍රියයන්, පීටර් කේනමනුන්, පී. ද එස්. කුලරත්නයන්, ජෝජ් ඊ. ද සිල්වාණන්,
ජේ. ආර්. ජයවර්ධනයන්, ඩී. එස්. සේනානායකයන්, ඩඩ්ලි සේනානායකයන් ඈ බොහෝ දෙනෙක් දක්නට
ලැබෙත්. එ දින නව නිලදරුවන් පත් කිරීම සඳහා කිසිවකු ගේ නම් සැලැකැවීමට හෝ කිසිවකු
ගේ නම් තිරැයීමට හෝ වීරසේකරයන් උත්සුක වී නැත. එ සේ මැ තනතුරක් සඳහා වීරසේකරයන් ගේ
නම සැලැකැවීමට ද කිසිවකුත් උනන්දු වී නැත. වීරසේකරයන් සමස්ත ලංකා ජාතික සංගම් කාරක
සභාවට එක් වූයේ එ දා යැ යි සිතීමට මේ
ද ප්‍රබල සාධකයෙකි. එ දින රැස්වීම හුදෙක් මැ නව නිල දරුවන් පත් කැරැ-ගැනීමේ කාරියට
සීමා වූ බවත් ඉදිරි පත් වැ ඇති යෝජනා පිළිබඳ වැ කටයුතු කිරීමේ බලය කෘත්‍යාධිකාරී
කාරක සභාව (Working
Committee) වෙත පැවැරූ බවත් වැඩි දුරටත් වාර්තාවේ
සඳහන් වේ.
තුරුණු වියේ පටන් බස-රැස-දෙස
පිළිබඳ අනල්ප ආදරයෙකින් ද ජාතික ව්‍යාපාරය කෙරෙහි මහත් ඇල්මෙකින් ද පසු වූ
වීරසේකරයන් ජාතික සංගමයේ ආදි මැ සාමාජිකයකු වූ නමුත් මෙ තරම් කලක් ගත වන තුරු සමස්ත
ලංකා ජාතික සංගම් කාරක සභාවට
එක් නො වූයේ මන් දැ යි යමෙක් විමසත් නම් ඒ පැනය සාධාරණ ය. එ සේ වීමට හේතු
සාධක සෙවූ කල අපට පැහැදිලි වූයේ 1938 වසරට පෙර සමස්ත ලංකා ජාතික සංගම් කාරක සභාව
පැවැති තත්ත්වය වීරසේකරයන් වැනි සුබැසියකුට රිසි නොවන්නක් වූ බව යි. ආරම්භයේ පටන්
සියලු කටයුතු ඉංගිරිසියෙන් සිදු කළ ජාතික සංගමය එදිනෙදා වැඩ කටයුතු සඳහා සිංහල
භාෂාව භාවිත කරමින් පොදු මහා ජනයාට වඩාත් සමීප වන්නට පටන් ගෙන ඇත්තේ 1938 වසරේ
දෙසැම්බරයේ දී තරුණ ප්‍රගතිශීලීන් (Young Turks) පිරිසක් විසින් කරන ලද
ආභ්‍යන්තරික විප්ලවයකට පසු ය (Roberts,
1977: clii). 1943 දී වීරසේකරයන් එක්
වී ඇත්තේ මේ විප්ලවයෙන් පසු නව ජීවයක් සහ නව මුහුණුවරක් ලත් සමස්ත ලංකා ජාතික සංගම්
කාරක සභාව සමඟ විනා ඉන් පෙර නාගරික ඉංගිරිසි භාෂක තනතුරු ලෝභීන් ගේ කෙළි බඩුවක් වැ
පැවැති කාරක සභාව සමඟ නො වේ. එ වැනි සභාවක් ඔවුනට රුචි නො වූ බව වෙසෙසින් පැහැදිය
යුතු නැත.
1943
වසරේ සමස්ත ලංකා ජාතික සංගම් කාරක සභා රැස්වීම් වාර්තාවේ පටන් බොහෝ ලේඛනවල ජයන්ත
වීරසේකරයන් ගේ නම ඉංගිරිසියෙන් සඳහන් වනුයේ ‘Jayantha Wirasekara’ යනුයෙනි. වැඩි දෙනකු ‘Weersekara’ යනුයෙන් ලියූ නාමය ‘Wirasekara’ යනුයෙන් ලිවීම ඔවුන් ගේ පන්නයක් වැ තිබේ. ඇතැම්
තැනෙක ‘J. Wirasekara’ යනුයෙන් ද ඔවුන් ගේ නම සඳහන් වන අතර වීරසේකරයන්
වෘත්තියෙන් මාධ්‍යවේදියකු වූ බවත් ඔවුන් ගේ සොහොවුරා වෘත්තියෙන් ගුරුවරයකු වූ බවත්
සඳහන් වේ (Roberts,
1977: clxiv).
සාංගමික ලිපි ලේඛනවල ඔවුන් ගේ ලිපි යොමුව ලෙස සඳහන් වැ ඇත්තේ ‘129/4, Drieberg’s Avenue, Maradana, Colombo’ යන්න යි (Roberts, 1977: 75). වීරසේකරයන් හෙළ බසින් කළ පබැඳුම්හි ‘මරදානේ,
දිරිබර්ග පෙත් මඟේ, නම් වර 129/4’ යනුයෙන් දැක්වෙනුයේ ද මේ ලිපි යොමුව මැ යි. එ දා
ඔවුන් වුසූ ‘Drieberg’s Avenue’ හෙවත් ‘දිරිබර්ග පෙත් මඟ’ මෙ දා ඔවුනට හරසර
පිණිස ‘ජයන්ත වීරසේකර මාවත’ යන නම ගෙන සිටී.
උක්ත කාරක සභා රැස්වීමෙන්
පසු වීරසේකරයන් සහභාගී වී ඇත්තේ 1944ක් වූ දෙසැම්බර 02 වැනි දා පෙ. ව. 10:00ට
බොරැල්ලේ තත් සාංගමික කාර්යාලයයේ දී පැවැති සමස්ත ලංකා ජාතික සංගම් කාරක සභා (A.C.C.C.M.) රැස්වීමට බව මූලාශ්‍රය
ලේඛන දෙස් දේ. එහි වීරසේකරයන් ගේ නම සඳහන් වනුයේ ‘Jayantha Wirasekara of Maradana
Association’ යනුයෙනි (Roberts, 1977: 824). එ නම් ‘මරදානේ
සමිතියේ ජයන්ත වීරසේකරයෝ’ යන අරුත යි. ලංකා ජාතික සංගමයට අනුබද්ධ ‘ශාඛා සමිති’
හැඳින්වීම සඳහා එ වක ‘Branch
Associations’ යන යෙදුම ව්‍යවහාර කොට
ඇති බැවින් (Roberts, 1977: 168) ඒ වන විට මරදානේ
පැවැති ලංකා ජාතික සංගමයේ ශාඛා සමිතියෙහි අභිනියෝජිතයකු (deligate) ලෙස වීරසේකරයන්
කටයුතු කළ බව මෙයින් පෙනේ. වීරසේකරයන් ගේ අකල් වියෝවින් පසු ද ඔවුන් දැරූ මතවාද
වෙනුවෙන් ලංකා ජාතික සංගමයෙහි පෙනී-සිටීමට මෙ කී මරදානේ ශාඛා සමිතියේ සාමාජිකයන් කටයුතු
කොට ඇති බව වැඩි දුරටත් සඳහන් වේ (Roberts,
1977: clxvi).
කෙසේ නමුත් මෙ දින මුළුවේ
දී 1945 වසර සඳහා නව නිලදරු මඬුල්ල පත් කැරැ-ගැනීමෙන් පසු කෘත්‍යාධිකාරී කාරක සභාව
විසින් පඤ්ච විධ යෝජනාවලියක් සභාවට ඉදිරි පත් කරනු ලැබ තිබේ. විදේශ ආධිපත්‍යයෙන්
ලංකා ද්වීපයට පූර්ණ නිදහස ලබා-ගැනීම, නිදහස් ලංකා ද්වීපයේ සුළු ජන කොටස්වලට
අසාධාරණයක් නො කොට ප්‍රජාතන්ත්‍රවාදය හා සමානාත්මතාව හා ආරක්‍ෂා වන පරිදි ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම ආදිය ගැන ඒ යෝජනාවල සඳහන් වේ. එ කී වැදැගත් යෝජනා
සමුදායය ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කළ පීටර් කේනමන්, ඩඩ්ලි සේනානායක වැනි සාමාජිකයන්
ගේ නම් පෙළ අතර වීරසේකරයන් ගේ නම ද දක්නා ලැබේ (Roberts, 1977: 825). මේ ප්‍රජාතාන්ත්‍රික
යෝජනා පිළිබඳ වැ වැඩි දුරටත් සාකච්ඡා කරනු පිණිස සර්ව පාක්‍ෂික සමුළුවක් (All-Parties Conference) කැඳැවීමට කෘත්‍යාධිකාරී
කාරක සභාවට බලය පවරා දීමෙන් එ දින රැස්වීම හමාර කොට තිබේ.
මී ළඟට වීරසේකරයන්
පිළිබඳ ඉතා වැදැගත් තතු රැසක් මැ හමු වනුයේ 1945ක් වූ මාර්තු 24 වැනි දා පෙ. ව. 10:00ට
බොරැල්ලේ දී පැවැති සමස්ත ලංකා ජාතික සංගම් කාරක සභා රැස්වීම් (A.C.C.C.M.)
වාර්තාවෙනි (Roberts,
1977: 835). එ වර රැස්වීමේ දී ලංකා
ජාතික සංගමයේ නිලදරු මඬුල්ල විසින් සම්පාදනය කොට ඉදිරි පත් කරන ලද ‘මූලික
අයිතිවාසිකම් ප්‍රකාශනය’ (Declaration
of Fundamental Rights) විවාදයට ගත් අවස්ථාවේ
වීරසේකරයන් කිහිප විටක් මැ නැඟී සිට සංශෝධන යෝජනා කොට ඇති අතර සාංගමික ව්‍යවස්ථාවෙහි
(Congress Constitution) ද යාවත්කාලීන විය යුතු යමක් ඔවුන් පෙන්වා-දී ඇත. තව ද සමිති යෝජනා වටයේ
දී ද අගනා යෝජනා දෙකක් මැ ඉදිරි පත් කොට ඇත්තේ වීරසේකරයන් ය.
ඉහත කී ‘මූලික අයිතිවාසිකම් ප්‍රකාශනයේ’ තෙ වැනි උපවගන්තියේ (article) සඳහන් වූ “සුළු ජාතීන්
ගේ සංස්කෘතිය, භාෂාව හා ලේඛන ක්‍රමය ආරක්‍ෂා කැරෙනු ඇත” යන පාඨයෙන් ‘භාෂාව හා ලේඛන
ක්‍රමය’ (languages and
script) යන්න ඉවත් කළ යුතු යැ යි
වීරසේකරයන් යෝජනා කොට ඇති නමුත් ඔවුන් ගේ යෝජනාවට සබයෙන් පිහිට ලැබී නැත. එහෙත්
පහළොස් වැනි උපවගන්තියේ තුබූ ‘පාසල් යන වයසේ පසු වන ළමයින්’ (children of school-going age) යන්න ‘වයස අවුරුදු දහසයට අඩු ළමයින්’ (children under sixteen years) යනුයෙන් නිවැරැදි කිරීමට ඔවුන් කළ යෝජනාවට සභා අනුමතය ලැබී ඇත. එ මෙන් මැ විසි
දෙ වැනි උපවගන්තියේ සඳහන් වූ “දේශීය කර්මාන්ත ආරක්‍ෂා කැරෙනු ඇත” යන පාඨයේ ‘දේශීය
කර්මාන්ත’ (indigenous
industries) යන්න
ළඟින් මැ ‘දේශීය වෛද්‍ය ශාස්ත්‍රය’ (indigenous medicine) යන්න ද
සඳහන් කළ යුතු යැ යි වීරසේකරයන් කළ යෝජනාවට ද සභාව එකඟ වී තිබේ (Roberts, 1977: 836). මේ වනාහි දේශීයත්වය පිළිබඳ වැ වීරසේකරයන් ගේ ඇල්ම හා දේශමාමක චින්තනය හා මැනැවින්
ප්‍රකට වන අවස්ථාවෙකි.
රාජ්‍ය කර්තව්‍යයන්හි දී ඉංගිරිසිය අත්හැර ස්වභාෂා වැලැඳ-ගැනීමේ දී සිංහලයට
මුත් අනෙක් භාෂාවනට ප්‍රමුඛත්වය නො දිය යුතු බව විශ්වාස කළ වීරසේකරයන්, ප්‍රකාශනයේ
විසි පස් වැනි උපවගන්තියෙන් ‘දෙමළ’ යන වදන ඉවත් කළ යුතු යැ යි කළ යෝජනාව දීර්ඝ
සාකච්ඡාවෙකින් පසු ප්‍රතික්‍ෂේප කොට තිබේ (Roberts, 1977: 836). ජාතික භාෂා අර්බුදය ඈ කරුණු පිළිබඳ වැ වීරසේකරයන් ඉදිරි පත් කළ මෙ බඳු
යෝජනා වැඩිතරයක් මැ තිර කොට ඇත්තේ ඔවුන් හා බෙහෙවින් මැ සමාන අදහස් දැරූ මරදානේ
ශාඛා සමිතියේ පී. ගල්ඔළුවයන් බව සඳහන් කළ යුතු ය. වෘත්තියෙන් ලිපිකරුවකු වූ
ගල්ඔළුවයෝ මරදානේ ප්‍රකට සමාජ සේවකයෙක් ද වූ හ (Roberts, 1977: clxiv).
මෙ දින ඒ. ක්ලෙමන්ට් ඩයසුන් විසින් සාංගමික ව්‍යවස්ථාව පිළිබඳ වැ ඉදිරි පත්
කැරුණු සංශෝධන යෝජනා ගැන අදහස් දක්වමින් වීරසේකරයන් ද නව යෝජනා කිහිපයක් ඉදිරි පත්
කොට ඇත. ලංකා ජාතික සංගමයේ වාර්ෂික සාමාජික මුදල රුපියල් පහේ සිට රුපියල් දහය
දක්වා ඉහළ නැංවීමටත් සමිති අභිනියෝජිතයන් සංඛ්‍යාව පහේ සිට තුන දක්වා පහළ හෙළීමටත්
ඔවුන් කළ යෝජනා ඒ අතර සුවිශේෂ ය. සංගමයේ ප්‍රමිතිය හා තත්ත්වය හා රැකැ-ගැනීම
පිළිබඳ වැ වීරසේකරයන් කෙරෙහි වූ උනන්දුව මේ යෝජනාවලින් ප්‍රතීත වේ. මේ යෝජනාවලට
සභා සම්මුතිය ලැබී ඇත (Roberts, 1977: 837).
ලංකා ද්වීපයේ වැඩිහිටි අධ්‍යාපනය නඟා-සිටුවීම සඳහා සවිමත් සංවිධානයක්
පිහිටුවීමටත් ශාඛා සමිතිවල සහායය ඇති වැ ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතියක් ඇරැඹීම සඳහා
ඇවැසි අරමුදලක් පිහිටුවීමටත් මෙ දින මැ වීරසේකරයන් විසින් කාරක සභාව වෙත ඉදිරි පත්
කැරුණේ බෙහෙවින් වැදැගත් යෝජනා ද්වයයෙකි. ගල්ඔළුවයන් විසින් තිර කරන ලදුව සභා
සම්මුතිය ලත් මේ යෝජනා ද්වයය වීරසේකරයන් ගේ සැබෑ ජනහිතවාදය මෙන් මැ පෘථුල දේශපාලන ඤාණය
ද පිළිබිඹු කරයි (Roberts,
1977: 838). මෙ රට වැඩිහිටි අධ්‍යාපනය
නඟා-සිටුවීම වූකලී 1933 දී සී. ඩබ්. ඩබ්. කන්නන්ගරයන් විසින් ආරම්භ කරන ලද
දූරදර්ශී ව්‍යාපෘතියෙකි (රන්දුල, 2012: 27). ඒ ජාතික සේවාවට මැ රුකුලක් වීමට
වීරසේකරයන් ද කල්පනා කළා විය යුතු ය.
ලංකා ජාතික සංගමය විසින් ‘ජාතික නිදහස් අරමුදලක්’ (A National Freedom Fund) පිහිටුවා-ගැනීම පිළිබඳ මූල සාකච්ඡා සිදු කරනු ලැබීම ද මෙ දින පැවැත්වුණු මුළුවේ
විශේෂත්වයෙකි. පසු වැ නොයෙක් අවස්ථාවල දී සංගමයට මේ අරමුදලින් පිහිට ලැබුණු බව
පෙනේ.
මින් පසු 1946ක් වූ මැයි 26 වැනි දා පෙ. ව. 10:00ට නොරිස් පාරේ
බුද්ධ මන්දිරයේ පැවැති සමස්ත ලංකා ජාතික සංගම් කාරක සභා රැස්වීම (A.C.C.C.M.) ද ජයන්ත
වීරසේකරයන් වෙසෙසින් හඬ අවදි කළ මුළුවෙකි. “ජාතික භාෂා හා ජාතික සංගමය පිළිබඳ වැ
රාජ්‍ය මන්ත්‍රණ සභාව විසින් තෝරා පත් කැරුණු කාරක සභාව (Select Committee)” පිළිබඳ යෝජනාවට ඉන් පෙර මුළුවේ දී තමා ද පී. ගල්ඔළුව මහතා ද විරෝධතාව පෑ
නමුත් ඒ බව රැස්වීම් වාර්තාවේ හරි හැටි සඳහන් වී නැති බව මුළුවේ සැළය කියැවූ පමායෙන්
වීරසේකරයන් පෙන්වා-දී තිබේ (Roberts, 1977: 874). එ දින වාර්තාව සභා සම්මත කොට ඇත්තේ වීරසේකරයන් පෙන්වා-දුන් කරුණ නිවැරැදි
කළ පසු ය.
අනතුරු වැ මුළුවේ සාකච්ඡාවට ගැනුණු ප්‍රධාන කාරණ ද්වයය වූයේ එළැඹෙන මැතිවරණ
සඳහා ලංකා ජාතික සංගමයේ සාමාජිකයන් නම් කරනවා ද? එසේ නැත්නම් අනෙක් දේශපාලන පක්‍ෂ
හා එක් වැ ‘පොදු ස්ථාවරයක් හා පොදු ප්‍රතිපත්ති’ (Common
Platform and Common Policy) මත පිහිටා සාමාජිකයන් ඉදිරි පත් කරනවා ද? යන ගැටලුව
යි (Roberts, 1977: 875). මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජේ. ආර්. ජයවර්ධනයන් කියා සිටියේ ඩී. එස්.
සේනානායකයන් හට දේශපාලන පක්‍ෂයක් (එක්සත් ජාතික පක්‍ෂය) පිහිටුවීමට සහාය දිය යුතු
බවත් මැතිවරණයේ දී ඊට එරෙහි වැ තරග කිරීමට අපේක්‍ෂකයන් නම් කළ යුතු නො වන බවත් ය.
මේ යෝජනාවට සභාවෙන් මහත් විරෝධයක් එල්ල වී ඇති
අතර විරෝධකයන් ගේ ප්‍රමුඛයකු වූ වීරසේකරයන් මෙ සේ ප්‍රකාශ කොට ඇත:
“පොදු ස්ථාවරයෙක
හා පොදු ප්‍රතිපත්ති මත පිහිටා ඩී. එස්. සේනානායකයන් විසින් පිහිටුවනු ලබන පක්‍ෂයකට
එක් වීම වනාහි අපට අනුමත කළ නොහැක්කෙකි. අපේ පක්‍ෂයේ සහ ඔවුන් ගේ පක්‍ෂයේ ප්‍රතිපත්ති
සමාන නිසා අපේ පක්‍ෂයට එක් වීමට ඔවුන් පොලඹවා-ගත යුතු යි. එ සේ නැත්නම් මන්ත්‍රී
ධුර සඳහා ජාතික සංගමය තනි වැ තරග කළ යුතු යි.”
ජයවර්ධනයන් උක්ත යෝජනාව හකුළා-ගන්නා තැනට කටයුතු යෙදැවීම සඳහා වීරසේකරයන්
හා පී. ගල්ඔළුවයන් හා ප්‍රමුඛ මරදානේ සමිතිය කෙතෙක් විරෝධතා පෑව ද අවසානයේ දී
ජයවර්ධනයන් ගේ යෝජනාව සභා සම්මත වනු වැළැකීමට ඔවුන් අපොහොසත් වූ බව රැස්වීම්
වාර්තාවේ සඳහන් ය (Roberts,
1977: 875). මෙ වැනි බොහෝ කරුණු සම්බන්ධයෙන් මරදානේ සමිතිය සහ කුරුඳුවත්තේ
සමිතිය අතර අඛණ්ඩ ගැටුම් මාලාවක් පැවැති බව මතු තතු විමසත් දී පැහැදිලි වේ.
මී ළඟට ලංකා ජාතික සංගමයේ වීරසේකර භූමිකාව විමැසීමේ දී වෙසෙසින් සඳහන් කළ
යුතු දිනයක් වනුයේ 1946ක් වූ නොවැම්බර 16 වැනි දා යි. එ දින පෙ. ව. 10:00ට
කොළොඹ කටුගේ ඉදිරිපිට පිහිටි ‘පාම් කෝට්හි’ (Palm Court) සමස්ත ලංකා ජාතික
සංගම් කාරක සභා රැස්වීම (A.C.C.C.M.)
පැවැත්වී ඇත (Roberts, 1977: 878). දිවයින පුරා පිහිටි ශාඛා සමිති නියෝජනය කෙරෙමින් අභිනියෝජිතයන් සියයකට අධික
පිරිසක් සපැමිණි මේ රැස්වීමේ ප්‍රධාන කාර්යය වී ඇත්තේ 1947 වසර සඳහා නිලදරු මඬුල්ලක්
තෝරා පත් කැරැ-ගැනීම යි. ජෝජ් ඊ. ද සිල්වාණන් නිතරගයෙන් මැ සභාපති ධුරයට තේරී පත්
වැ ඇති අතර සම ලේකම් ධුර ද්වයය සඳහා ජේ. ආර්. ජයවර්ධන - එච්. ඒ. කෝට්ටේගොඩ
සංයෝගයත්, ජේ. ආර්. ජයවර්ධන - ජයන්ත වීරසේකර සංයෝගයත් යෝජනා වී තිබේ. එ තෙක් කල්
සම ලේකම්වරයකු ලෙස සේවාව කළ කෝට්ටේගොඩයන් නැවැතැ ඒ තනතුර හෙබැවීමට අකැමැත්ත පළ කෙළෙන්
ජේ. ආර්. ජයවර්ධනයන් හා ජයන්ත වීරසේකරයන් හා සම ලේකම්වරුන් ලෙස පත් වීම් ලබා ඇති
බව සඳහන් වේ.
යම් කරුණක් අරබයා මෙ දින මුළුවේ ඇති වූ සාකච්ඡාවෙක දී සැඬ දෙස්මක් (violent speech) පැවැත්වූ පී. ගල්ඔළුවයන් මරදානේ ශාඛා සමිතියේ අභිනියෝජිතයන් සමඟ රැස්වීම හමාර
වීමට පෙර නැඟිට ගොස් තිබේ. එ දින රැස්වීම් වාර්තාවට මේ පුවත ඇතුළත් කොට ඇත්තේ පසු
වැ බවත් අත් අකුරු අනුවැ එය ජයන්ත වීරසේකරයන් ගේ සටහනක් විය යුතු බවත් මූලාශ්‍රය
සංරක්‍ෂණය කළාහු පවසති (Roberts, 1977: 879).
සම ලේකම් ධුරයට පත් වූ දා පටන් වීරසේකරයන් ද කෘත්‍යාධිකාරී කාරක සභා
සාමාජිකයකු වූ බැවින් (Roberts, 1977: 55) එ තැන් පටන් සමස්ත ලංකා ජාතික සංගම් කාරක සභා
රැස්වීම්වලට අමතර වැ කෘත්‍යාධිකාරී කාරක සභා රැස්වීම්වලට ද ඔවුන් සහභාගී වී තිබේ. නව සම
ලේකම්වරයා ලෙස පත් වූ වීරසේකරයන් කෘත්‍යාධිකාරී කාරක සභාවට හඳුන්වා-දී ඇත්තේ
1946ක් වූ දෙසැම්බර 16 වැනි දා පැවැති තත් කාරක සභා රැස්වීමේ දී ය. නව
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරි පත් වන සියලු මැ අපේක්‍ෂකයන් ලංකා ද්වීපයට නිදහස
ලබා-ගැනීම සඳහා කටයුතු කරන බවට ගිවිස්වා-ගැනීමටත්, ඉදිරි මැතිවරණවල දී එකසත් ජාතික
පක්‍ෂය හා එක් වැ පොදු ස්ථාවරයෙක හා පොදු ප්‍රතිපත්ති මත පිහිටා අපේක්‍ෂකයන් කිහිප දෙනකු ඉදිරි පත් කිරීමටත්,
සිංහලය හා දෙමළය රාජ්‍ය භාෂා බවට පත් කිරීම පිළිබඳ කමිටුවේ නිර්දේශ ක්‍රියාවට
නැංවීමටත් මෙ දින සභාව තීරණය කොට තිබේ (Roberts, 1977: 879). මේ අතරෙහි
වූ ඇතැම් යෝජනා මුලින් මැ ඉදිරි පත් වූ අවස්ථාවන්හි ඒවාට විරුදු වැ හඬ නැඟූ
වීරසේකරයන් බහුතර මතයට ගරු කෙරෙමින් දෝ මේ මුළුවේ දී නිහඬ පිළිවෙතක් අනුගමනය කොට
තිබෙනු පෙනේ.
මේ අතර 1947ක් වූ පෙබරවාරි 17 වැනි දා පැවැති කෘත්‍යාධිකාරී කාරක සභා රැස්වීම
ගැන ද යමක් සඳහන් කළ මනා ය. මාර්තු දෙ වැනි දා නිදහස් දිනය ලෙස සැමැරීමට එ දින සභාව
තීරණය කොට ඇති අතර ඒ පිළිබඳ වැ සියලු ශාඛා සමිති ලේකම්වරුනට දැනුම් දීමට ද නියම කොට
තිබේ (Roberts, 1977: 881). එහෙත් මේ නිදහස් සමරුව ගැන මින් පසු වාර්තාවල කිසිවක්
සඳහන් නො වේ.
මරදානේ ශාඛා සමිතිය විසින් ජාතික සංගමයේ ඇතැම් කටයුතු පිළිබඳ විරෝධය පාමින්
එවන ලද ලිපි දෙකක් පිළිබඳ වැ 1947ක් වූ මැයි 13 වැනි දා සහ ඉන් පෙර පැවැති කෘත්‍යාධිකාරී
කාරක සභා රැස්වීම් වාර්තාවේ සඳහන් වේ. ඒ සම්බන්ධයෙන් මරදානේ ශාඛා සමිතියේ අයට කරුණු
පැහැදිලි කැරැ-දීමේ වගකීම එහි මැ ඇතුළතකු වූ වීරසේකරයන් වෙත මේ රැස්වීමේ දී පවරා
තිබේ (Roberts,
1977: 882). එ සේ මැ හැම දිනෙක මැ වරුවක් ලංකා ජාතික සංගම් කාර්යාලයයේ ද
ඉතිරි වරුව එකසත් ජාතික පක්‍ෂ කාර්යාලයයේ ද වැඩ කරන ලෙස සාංගමික ලිපිකරු තැනට නියම
කොට ඇත්තේ ද එ දා ය. මේ වනාහි ලංකා ජාතික සංගමය හා එජාපය අතර පැවැති දේශපාලනික
බන්ධුත්වය මැනැවින් පළ කැරෙන අවස්ථාවෙකි. තව ද 1945 වසරේ දී පිහිටැවුණු ‘ජාතික නිදහස් අරමුදලින්’ යම් කටයුත්තක් සඳහා මුදල් ගැනීමට ද ලංකා ජාතික සංගමය තීරණය කොට තිබේ.
මින් පසු 1947ක් වූ ජුනි 24 වැනි දාත් නොවැම්බර 20 වැනි දාත් කෘත්‍යාධිකාරී
කාරක සභා රැස්වීම් පවත්වා ඇති නමුත් වෙසෙසින් සඳහන් කළ යුතු කිසිවක් තද්වාර්තාවන්හි
නො පනේ (Roberts, 1977: 882-883). අනතුරු වැ ලංකා ද්වීපයට නිදහස ලැබුණු 1948 වසරේ
පැවැති සාංගමික රැස්වීම් ගණනාවකට මැ වීරසේකරයන් සහභාගී වූ බව ඒ වසරේ ඔවුන් භාවිත
කළ දිනපොතෙහි සටහන් වැ ඇතැ යි පැවැසේ (විජයතුංග, 2003: 136). ඒ වසරේ රැස්වීම්
වාර්තා ද දිනපොත පිළිබඳ ඒ පැවැස්මට දෙස් දෙයි.
1948ක් වූ ජනවාරි 17
වැනි දා පෙ. ව. 10:00ට සාංගමික කාර්යාලයයේ දී මී ළඟ සමස්ත ලංකා ජාතික සංගම් කාරක
සභා රැස්වීම (A.C.C.C.M.) පවත්වා ඇත (Roberts,
1977: 883). මෙ දින රැස්වීමෙහි සාකච්ඡා කැරුණු ප්‍රධාන කාරණය වූයේ ‘නිදහස
දිනා-ගැනීම’ (The
Achievement of Freedom) යි. ඒ වන විට එක්සත්
ජාතික පක්‍ෂ රජයේ මුදල් ඇමැති පදවියට පත් වැ සිටි ජේ. ආර්. ජයවර්ධනයෝ සාකච්ඡාව
ඇරැඹූ හ. ඉන් පසු මරදානේ ශාඛා සමිතිය නියෝජනය කෙරෙමින් යෝජනාවක් ඉදිරි පත් කළ පී.
ගල්ඔළුවයන් කියා සිටියේ දැනට මත් ලංකා ද්වීපයට නිදහස ලැබී ඇති බැවින් ජාතික සංගමයේ
මහ සමුළුවක් කැඳවා සාංගමික ව්‍යවස්ථා ප්‍රකාර වැ එය විසුරුවා හැරිය යුතු බව යි. එහෙත්
සභාවේ දැඩි විරෝධය හමුවේ තම යෝජනාව ඉල්ලා අස් කැරැ-ගැනීමට ගල්ඔළුවයනට සිදු වී ඇත.
අනතුරු වැ සභාව ඇමැතූ ජයන්ත වීරසේකරයන් අභියෝජනා (resolutions) ද්වයයක් ඉදිරි පත් කොට තිබේ (Roberts, 1977: 883). ඉන් පළමු වැන්න මෙ සේ යි:
අනතුරු වැ සභාව ඇමැතූ ජයන්ත වීරසේකරයන් අභියෝජනා (resolutions) ද්වයයක් ඉදිරි පත් කොට තිබේ (Roberts, 1977: 883). ඉන් පළමු වැන්න මෙ සේ යි:
“දැන් ලංකා
ද්වීපය නිදහස ලබා ඇති බැවින් ඒ නිදහස වඩාත් ශක්තිමත් කිරීමත් මහා ජනයා ගේ ශුභ
සිද්ධිය පිණිස එය යොදා-ගැනීමත් අරමුණු කොට-ගෙන ලංකා ජාතික සංගමය ඉදිරි කටයුතු කළ මනා
බව මේ කමිටුව කල්පනා කරයි. ඒ අරමුණු සඳහා අනුග්‍රහය දක්වන ආකාරයේ දේශපාලන පක්‍ෂ සමඟ
හවුල් වීමෙන් එ කී කටයුතු කළ යුතු යි.”
මේ වනාහි වීරසේකරයන් ද ගල්ඔළුවයන් ද විරුදු මතවල පිහිටි දුලබ අවස්ථාවෙකි. ජේ. ආර්. ජයවර්ධනයන් විසින් තිරයන ලදුව
වීරසේකරයන් ගේ උක්ත යෝජනාවට පක්‍ෂ වැ ඡන්ද දහ හතක් ද විපක්‍ෂ වැ ඡන්ද එකක් ද ලැබී
එය සභා සම්මත වී ඇත. ජාතික සංගමයේ ප්‍රධාන අරමුණ වූ නිදහස ලබා-ගැනීමෙන් පසු රටෙහි
පොදු මහා ජනයාට යහපත සලසනු පිණිස සංගමය පැවැත්විය යුතු යැ යි කීමෙන් යළි දු පසක්
වන්නේ වීරසේකරයන් ගේ දූරදර්ශී දේශපාලන බුද්ධිය යි; මානවහිතවාදය යි. ජාතික සංගමයේ
රිංගා-ගෙන සිටි ඇතැම් බල ලෝභී දේශපාලකයන් ගේ අවස්ථාවාදී පටු අරමුණුවලට වඩා
උත්තරීතර අරමුණු වීරසේකරයන් වෙත තුබූ බව මෙයින් පැහැදිලි වේ.
වීරසේකරයන් ගේ දෙ වැනි
අභියෝජනාව ඔවුන් ගේ චරිතයෙහි සැම දා පැවැති ලක්‍ෂණයක් වූ අදීනත්වය හෙළි කරයි. පී.
ගල්ඔළුවයන් තිර කළ ඒ අභියෝජනාව මෙ සේ ය:
“අද වන
තෙක් මැ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ එක දු ඩොමීනියන් රාජ්‍යයක් වත් රාජකීය බහුමාන (Imperial
Honours) පිළිගැනීමෙන් තම තත්ත්වය පහත හෙළා-ගෙන නැත්තේ ය. එ බැවින් ඊනියා
බහුමානයන් පිළිගැනීමට අපේ මිනිසුන් ගේ පවත්නා ඇබ්බැහිය මහත් විරෝධයෙන් හා සන්තාපයෙන්
හා යුතු වැ පෙන්වා-දෙමු.”
මේ වනාහි ඉතා තාර්කික වූත් නිවැරැදි වූත් ප්‍රකාශයෙකි. රටක් ඉංගිරිසි
අධිරාජ්‍යයෙන් නිදහස ලබනුයේ ස්වාධීන වැ පැවැතීමට ය. එ වැනි නිදහස් රටෙක වැසියෝ තව
දුරටත් යටත්විජිත් ස්වාමීන් ගෙන් ගෞරව බහුමාන පිළිගනිත් නම් එයින් ඇඟැවෙන්නේ ඒ
මිනිසුන් දේශපාලනික වසයෙන් නාමික නිදහසක් ලබා ඇතත් මානසික වසයෙන් නිදහසක් ලබා නැති
බව ය. එ වැන්නෝ හැම දා සිතින් යටත්විජිත
වැසියෝ වෙති.
වීරසේකරයන් ගේ උක්ත
අභියෝජනා ද්වයය සභාගත කැරුණු පසු ලංකා ද්වීපය ජනරජයක් (Republic) හැටියට ප්‍රකාශයට
පත් කිරීමට හැකි විගස කටයුතු සම්පාදනය කළ යුතු බවට යෝජනා ඉදිරි පත් වූ නමුත්
හැත්තෑව දසකය වන තුරු මැ මෙ රට ජනරජයක් නො වූ බව කවුරුත් දනිති. එ දින මුළුවේ වැදැගත්
කටයුතු මින් හමාර කොට තිබේ.
ජනතා ශුභ සාධනය උදෙසා
ලංකා ජාතික සංගමය අඛණ්ඩ වැ පැවැත්විය යුතු බවට වීරසේකරයන් ඉදිරි පත් කළ අභියෝජනාව සභා
සම්මත වූ නමුත් කල් යත් මැ සංගමයෙහි අනාගතය පිළිබඳ වැ මහත් අර්බුදයක් ඇති වැ තිබේ.
1948ක් වූ මාර්තු 10 වැනි දාත් ජුනි 17 වැනි දාත් පැවැති කෘත්‍යාධිකාරී කාරක සභාවල
විවාදයට හේතු වී ඇත්තේ සංගමයෙහි අනාගතය පිළිබඳ ගැටලුව යි (Roberts, 1977: 885-886). 1949ක් වූ ජනවාරි 17 වැනි දා පැවැති කෘත්‍යාධිකාරී කාරක සභා රැස්වීමේ ද
මේ කරුණ පිළිබඳ වැ දීර්ඝ ලෙස වාද කිරීමෙන් පසු තීරණය කොට ඇත්තේ සමස්ත ලංකා ජාතික සංගම් කාරක සභා රැස්වීමක් කැඳැවා සංගමයේ අනාගතය පිළිබඳ
තීරණයක් ගත යුතු බව යි. මේ අතර ලංකා ජාතික සංගමයේ සියලු ලේඛන තමාට බාර දෙන ලෙස එහි
සභාපතිවරයා වූ ජෝජ් ඊ. ද සිල්වාණන් සම ලේකම් දෙපොළ ගෙන් ලිඛිත වැ ඉල්ලා ඇතත් ඔවුන්
දෙදෙනා එ සේ කොට නැත්තේ ද සංගමය රැකැ-ගනු පිණිස බව කිය හැකි ය.
1949ක් වූ ජනවාරි 26 වැනි දා පෙ. ව. 10:00ට සාංගමික
කාර්යාලයයේ දී පැවැති සමස්ත ලංකා ජාතික සංගම් කාරක සභා රැස්වීම (A.C.C.C.M.) ද
සංගමයේ අනාගතය හා නිලදරු මඬුල්ල හා පිළිබඳ වැ ආභ්‍යන්තරික ආරවුල් විමැසූ ගාලගෝට්ටියක්
වී ඇත (Roberts,
1977: 889-890). එ සේ මැ
1949ක් වූ මැයි 09 වැනි දා පැවැති කෘත්‍යාධිකාරී කාරක සභා රැස්වීමට අභියෝජනාවක්
ඉදිරි පත් කෙරෙමින් සංගමයේ අනෙක් සම ලේකම්වරයා වූ ජේ. ආර්. ජයවර්ධනයන් ප්‍රකාශ කොට
ඇත්තේ “දැන් ලංකා ද්වීපය නිදහස ලබා ඇති බැවින් තව දුරටත් ලංකා ජාතික සංගමයෙන් වැඩෙක්
නැත. එය විසුරුවා-හළ යුතු ය” යන්න යි (Roberts, 1977: 889-890). 1949ක් වූ මැයි 28 වැනි දා පෙ. ව. 10:00ට සහිරා විදුහලේ පැවැති වෙසෙස්
සැසියේ (Special Session) දී මෙය සැසැඳිල්ලට ගෙන ඇති අතර එ දින ද වීරසේකරයන් වැනි ජාති
හිතෛෂී පිරිසක් ඊට විරෝධතාව පා සංගමය රැකැ-ගෙන තිබේ (විජයතුංග, 2003: 137).
මේ ඈ විසින් ලංකා ජාතික
සංගමය රැකැ-ගැනීමට වෙහෙසුණු වීරසේකරයන් හට මින් පසු සංගමයේ කටයුත්තකට සහභාගී වීමට
වාසනාව තුබුණේ නැත. 1949ක් වූ ජුනි 18 වැනි දා ස්වකීය ජාතික, ශාස්ත්‍රීය සේවාවන් අතරමඟ
නවතා ජයන්ත වීරසේකරයෝ හෙළය හැරැ-ගියහ. අනතුරු වැ 1949ක් වූ ජුලි 14 වැනි දා පැවැති
ලංකා ජාතික සංගම් කෘත්‍යාධිකාරී කාරක සභා රැස්වීමේ දී ඔවුන් ගේ අකල් වියොව පිළිබඳ
වැ සංගමයේ ශෝකය පළ කොට ඇති අතර ඔවුන් හෙබැවූ සම ලේකම් ධුරයේ කටයුතු කිරීමට
මොන්ටේගු ජයවික්‍රමයන් ඒකච්ඡන්දයෙන් පත් කොට-ගෙන ඇත (Roberts, 1977: 892).
ජයන්ත වීරසේකරයන් වනාහි හුදු
භාෂා ප්‍රේමියකු හෝ දේශ ප්‍රේමියකු නො වැ මනා ඉදිරි දැක්මක් සහ ඍජු ප්‍රතිපත්ති තුබුණු
අදීන දේශපාලනඥයකු බව මෙ තෙක් කැරුණු විමැසුමෙන් පැහැදිලි ඇතැ යි සිතමු. පෙරත් කීවා
සේ ක්‍රියාකාරී දේශපාලනඥයකු වූ නමුත් ක්‍රියාකාරී දේශපාලකයකු නො වූ වීරසේකරයන් සිය
බස-රැස-දෙස වෙනුයෙන් මෙ ලෙස සේවා කරත් දී බල සම්පන්න දේශපාලකයන් සමඟ කොතෙකුත් සමීප
වැ කටයුතු කැරැ තිබේ. ඔවුන් අතර එ වක එක්සත් ජාතික පක්‍ෂයේ ඩී. ඇස්. සේනානායකයන්,
ඇස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායකයන්, ජේ. ආර්. ජයවර්ධනයන්, ඩඩ්ලි සේනානායකයන් වැනි දක්‍ෂිණාංශික
දේශපාලකයෝ බොහෝ දෙනෙක් වෙත් (විජයතුංග, 2003: 138). ඔවුන් මතු නො වැ එ වක වාමාංශික
දේශපාලකයන් වූ ඇන්. ඇම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා, ලෙස්ලි ගුණවර්ධන, පිලිප්
ගුණවර්ධන, රෝබට් ගුණවර්ධන ආදින් එක් වැ පිහිටුවා-ගත් ‘ලංකා සම සමාජ පක්‍ෂයට’ ඒ නම දුන්නාහු
ද වීරසේකරයෝ යැ යි ද අයෙක් සඳහන් කරති (විජයතුංග, 2003: 138). මේ අනුවැ ගත් කළ බස-රැස-දෙස
වෙනුයෙන් මෙහෙයක් කිරීම උදෙසා ඕනෑ මැ දේශපාලකයකුට ඔවුන් ගේ දේශපාලන දර්ශනය නො තකා
වීරසේකරයන් උදවු කළ බව පෙනේ.
එහෙත් වීරසේකරයන් ඒ කිසිවකු ගෙන් පෞද්ගලික ලාභ ප්‍රයෝජන සලසා නො ගත් බව මහත්
වගකීමෙන් කිය හැකි ය. එ වැනි බලවතුන් ගෙන් ලාභ ප්‍රයෝජන ලැබුවා නම් මියෙන තුරු මැ
දිරිබර්ග පෙත් මඟේ කුලී නිවෙසෙහි වසන්නට ඔවුනට සිදු වන්නේ නැත. මේ අනුවැ කිසි දු දේශපාලකයකු
හමුවේ අනවශ්‍ය ලෙස දීනකම් ගැතිකම් පාන්නේ නැති වැ ආත්මාභිමානයෙන් කටයුතු කිරීමේ
හැකියාව වීරසේකරයන් වෙත තුබූ බව වෙසෙසින් පැහැදිය යුතු නො වේ. ඒ ශ්‍රේෂ්ඨ චරිත
ස්වභාවය ප්‍රත්‍යක්‍ෂ කරන පවතක් ‘ජයන්ත වීරසේකර වතෙහි’ විසිතුරු වැ පැවැසේ (විමල්,
2009: 33-37).
මේ ගත වන්නේ වීරසේකරයන් වැනි අභිමානවත් ගෞරවනීය විද්වද් දේශපාලනඥයන්
වැඩිවැඩියෙන් මෙ රටට ඇවැසි සමයයෙකි. එ වැනි අවංක දේශපාලනඥයන් සමකාලීන ජාතික
දේශපාලන වේදිකාවට ඇවැසි වැ ඇත්තේ යම් සේ ද, බහු විෂයක විශාරදත්වයෙන් යුත් පඬිවරුන්
සමකාලීන ශාස්ත්‍ර ලෝකයට ඇවැසි වැ ඇත්තේ ද එ සේ මැ යි. ඒ අනුවැ වීරසේකරයන් වැනි මහා
පුරුෂයන් නැති අඩුව එ දාටත් වඩා රටට දැනෙනුයේ මෙ දා ය. මෙ හෙයින් අපි ඔවුනට නිවන්
නො පතමු. අතරමඟ නැවැතුණු ස්වකීය ලෝක ශාස්ත්‍රීය සේවාව යළි අරඹනු වස් ජයන්ත වීරසේකරයෝ
නැවැතැ මේ හෙළ දිවෙහි මැ පහළ වෙත් වා!
ආශ්‍රිත ග්‍රන්ථ
නාමාවලිය
කුමාරණතුංග, මුනිදාස (1936). සංක්‍ෂිප්ත දශ කුමාර චරිත ප්‍රදීපය. කොළොඹ: ඇම්. ඩී. ගුණසේන සහ සමාගමය.
කෝපරහේවා, සඳගෝමි (1999). භාෂානුරාගයේ දේශපාලනය. කොළොඹ: ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ.
රන්දුල, ක. ක. ගනුෂ්ක (2012). කන්නන්ගර යුග මෙහෙවර (පරිවර්තනයෙකි). කොළොඹ: රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව.
විජයතුංග, හරිශ්චන්ද්‍ර (2003). ‘ජයන්ත වීරසේකර’, ඉපිටුම: පූජිත ජීවිත - පස් වැනි වෙළුම, සංස්කරණය: අමරසිරි පොන්නම්පෙරුම, රඤ්ජිත් අමරකීර්ති පලිහපිටිය. කොළොඹ: ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ.
විමල්, ම. ආ. (2009). ජයන්ත වීරසේකර වත. කොළොඹ: ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ.
Roberts, Michael (ed.) (1977). Documents of the Ceylon National Congress & Nationalist Politics in Ceylon: 1929 – 1950 (Vol. I). Colombo: Dept. of National Archives.
Roberts, Michael (ed.) (1977a). Documents of the Ceylon National Congress & Nationalist Politics in Ceylon: 1929 – 1950 (Vol. II). Colombo: Dept. of National Archives.
No comments:
Post a Comment