Friday, January 30, 2015

සිංහල ගීත සාහිත්‍යයේ සී. ටී. ප්‍රනාන්දු මුද්‍රාව

එක් දහස් නවසිය හතළිස් ගණන්වල අග භාගය වන විට සිංහල ගීත සාහිත්‍යයේ කැපී-පෙනෙන ප්‍රවණතා කිහිපයක් දක්නට තිබිණි. එක් අතෙක සිරිසේන විමලවීර, හියුබට් රාජපක්‍ෂ ආදින් ගේ නුර්ති, ටීටර් ගී සම්ප්‍රදායය පැවැතිණි. තවත් අතෙක ආනන්ද සමරකෝන්, එච්. ඩබ්ලිව්. රූපසිංහ ආදින් ගේ ශාස්ත්‍රීය ගීත සම්ප්‍රදායය පැවැතිණි. ඒ හැමට ම වෙනස් අතෙක වොලී බැස්ටියන්, ජස්ටින් ප්‍රනාන්දු ආදින් ගේ බයිලා ගීත සම්ප්‍රදායය පැවැතිණි. මේ සියල්ලට අමතර ව සිංහල සිනමාවේ ප්‍රභවයත් සමඟ දක්ෂිණ භාරතීය හා උත්තර භාරතීය අනුකාරක ගීත සම්ප්‍රදායයක් ද මෙ වක බිහි විය. බටහිර සංගීතය යනු හුදු බයිලාව යැ යි සමාජගත ව පැවැති දුර්මතය උඩු යටිකුරු කළ සිරිල් ටියුඩර් ප්‍රනාන්දු හෙවත් සී. ටී. ප්‍රනාන්දු ගේ ආගමනය සිදු වූයේ මෙ වන් මියැසි පසුබිමක් පැවැති 1947 වසරේ දී ය.

සී. ටී. ගුවන් විදිලි ගායකයකු ලෙස ගැයූ පළමු ගීය 1947 දී ගැයූ “සවස් කල ඇලේ හමන මඳ නලේ” නම් වූ බව මහාචාර්ය සුනිල් ආරියරත්න පවසයි. එහෙත් ඔහුට ජනප්‍රියතාව ගෙන ඒමට සමත් වූයේ ඒ වසරේ දී ම සූරියරාණි සමඟ ගැයූ “පින් සිදු වන්නේ අනේ බාල ළමුන්නේ” ගීය යි. ඒ ගීය රචනා කරන ලද්දේ සී.ටී. වෙනුවෙන් පමණක් ගී ලියූ ආර්. එන්. එච්. පෙරේරා විසිනි. වෘත්තියෙන් පාසල් ගුරුවරයකු වූ ආර්. එන්. එච්. වූකලී සී. ටී. ගේ සමීප ඥාතියෙකි. ඔහු ලියූ ගී පදවල අපූර්වත්වය, සෞන්දර්යාත්මක භාවය හා සරල බව නොමඳ ව පිරී තිබිණි. “පින් සිදු වන්නේ අනේ බාල ළමුන්නේ” පමණක් වුව ද මේ සඳහා ප්‍රමාණවත් නිදසුනෙකි. අද පවා පාසල්හි භාවිත කැරෙන සිවු වැනි ශ්‍රේණියේ සිංහල පෙළ පොතෙහි මේ ගීතය ඇතුළත් කොට ඇත්තේ එහි ඇති මෙ කී විශිෂ්ටතාව නිසා ය. සී. ටී. වෙනුවෙන් ආර්. එන්. එච්. ලියූ “සුවඳ රෝස මල් නෙළා”, “අම්බිලි මාමේ”, “පින් සිදු වන්නේ” වැනි සෙසු ළමා ගීවල ද මේ විශිෂ්ටතා ලක්‍ෂණ නොමඳ ව ගප් වී තිබේ. තුරුණු වියේ දී ළමා ගී ගැයූ ගායකයකු බවට සී. ටී. පත් වූයේ බෙහෙවින් ම ආර්. එන්. එච්. ගේ පද රචනාවල බලපෑම නිසා ය. අද වුව ද වැඩි ම ළමා ගී සංඛ්‍යාවක් ගැයූ වැඩිහිටි ගායකයා වනුයේ සී. ටී. ය. ගුවන් විදිලියේ ‘ළමා පිටියෙන්’ හෝ ‘සරස්වතී මණ්ඩපයෙන්’ හෝ බිහි වූ ළමා ගායකයෙක් නම් ළමා ගී ගැයීමේ අරුමයක් නැත. එහෙත් තුරුණු වියේ දී විශිෂ්ට ශ්‍රේණියේ ගායන ශිල්පියකු බවට පත් වූවකු ළමා ගී වෙත ආසක්ත වීම විශේෂත්වයෙකි. සිංහල ළමා ගීයට සී. ටී. ගෙන් සිදු වූ සම්ප්‍රදානය මෙ තෙක් ප්‍රාමාණික අධ්‍යයනයකයට පාත්‍ර වී නැත. මේ සී. ටී. ගේ ගීත සාහිත්‍යයේ එක් පැතිකඩකි.      


සී. ටී. ගේ ගීවල පැවැත්තේ ඔහු විසින් ම නිර්මාණය කරන ලද මනහර ස්වතන්ත්‍ර බටහිර තනු ය. ඔහු ගැයූ චිත්‍රපට ගීත හැරුණු කොට සෙසු සියලු ගීවල තනු නිර්මාණය සී. ටී. ගේ විය. මුල් දසකයේ ඔහු ගැයූ ගීවල සංගීත සංයෝජනය කෙළේ බී. ඇස්. පෙරේරා වුව ද පාසල් සමයයේ පටන් සී. ටී. ගේ මිතුරකු වූ පැට්රික් දෙනිපිටිය නොබෝ කලෙකින් ම ඔහු ගේ තනු සඳහා සංගීත සංයෝජනයෙන් දායක විය. සී. ටී. - පැට්රික් සුසංයෝගයෙන් බිහි වූයේ ඉන් පෙර සිංහල ගී රසිකයාට අසන්නට නො ලැබුණු ආකාරයේ බටහිර ඌරුවක් ඇති ගීත ය. එ වක සිංහල ගීත ක්‍ෂේත්‍රය තුළ අනුකාරක ගී රැල්ල බෝ වන රෝගයක් මෙන් පැතිරෙමින් තුබුණ ද සී. ටී. බටහිර ගී තනුවලට වචන ඔබා ගැයුවේ නැත. ඔහු ගේ සියලු ගීවල තුබුණේ ස්වතන්ත්‍ර තනු ය. මේ නවමු බටහිර තනුවලට බෙහෙවින් ම ආකර්ෂණය වූයේ එ වක ඉංගිරිසි ගී ඇසීමට ඇබ්බැහි වී සිටි කුරුඳුවත්තේ බංගලාවල වුසූ පැලැන්තිය යි. ඒ අනුව අගනුවර ධනපති පංක්තිය වෙත සිංහල ගීතය ගෙන යෑමේ ගෞරවය සී. ටී. වෙත හිමි වේ. ඔවුන් වෙත සිංහල ගීය ගෙන යෑමෙන් සී. ටී. හට සැලැසුණේ සුළුපටු ප්‍රතිලාභයක් නො වේ. සති අන්තයේ දී ගාලු
මුවදොර හෝටලයේ (Galle Face Hotel) සහ ගල්කිස්සේ මහ හෝටලයේ (Mt. Lavinia Hotel) පැවැති සාද සම්භාෂණ ආදියෙහි ගී ගැයීමට සී.ටී. හට නිතොර ඇරියුම් ලැබිණි. එක් දහස් නවසිය හැට ගණන්වල සති අන්තයක සී. ටී. මේ හෝටලයෙක ගී ගයනු දැක-ගත නොහැකි වී නම් ඒ ඉතා කලාතුරෙකිනි.

සී. ටී. ගේ ගායනයට වසඟ වූයේ මෙ රට රසිකයන් පමණක් නො වේ. ඉහත කී අගනුවර සුපිරි හෝටල් සහ ‘කැංඩි ලේක් ක්ලබ්’ (Kandy
Lake Club) කේන්ද්‍ර කොට-ගෙන සී. ටී. හට ඉංගිරිසි ජාතික රසික පර්ෂදයක් ද බිහි විණි. 1967 – 1968 සමයයෙහි ‘ලකී සෙවන්’ දුම්වැටි සමාගමයේ අනුග්‍රහයෙන් ගුවන් විදිලියේ ඉංගිරිසි සේවයේ විකාශය වූ ‘ලකී සෙවන් ෂෝ’ (Lucky Seven Show) නම් සංගීත වැඩසටහනට සී. ටී. ගේ සිංහල ගීත ඇතුළත් වූයේ ඒ වන විට ඔහුට එතරම් ඉංගිරිසි භාෂක රසිකයන් සිටි බැවිනි. ඉංගිරිසි ජාතිකයන් සී. ටී. ගේ මනමෝහනීය හඬට කොතරම් වසඟ වූවා ද යත් සී. ටී. හඬට ඇලුම් කළ මැඩම් ඩෙල්ගාඩෝ නම් යුරෝපීය ඔපෙරා ගායිකාව 1969 දී ඔහුට ලංඩනයේ ප්‍රසංගයක්‌ පැවැත්වීම සඳහා ආරාධනා කළා ය. ඒ අනුව විදේශයෙක සංගීත ප්‍රසංගයක්‌ පැවැත්වූ මුල් ම ශ්‍රී ලාංකික ගායකයා වූයේ සී.ටී. ය. 1969 ජූනි 24 වැනි දා  ලංඩන් නුවර පොදු රාජ්‍ය මණ්‌ඩල ශාලාවේ දී යුරෝපීයයන් වෙනුවෙන් සිංහල ගීත ගැයූ සී.ටී.  ප්‍රනාන්දු “රන් හඬ”  (The Golden Voice) සම්මානයෙන් ද පිදුම් ලැබී . පසු දා සී. ටී. හා පැට්රික් දෙනිපිටිය බී. බී. සී. ගුවන් විදිලි සේවයේ සජීව සම්මුඛ සාකච්ඡාවකට ද සහභාගී වූ හ. එ දා ඒ පිළිසඳර මෙහෙයැවූයේ එ වක ‘බී. බී. සී. සන්දේශයේ’ නිෂ්පාදන කළමනාකරු ලෙස කටයුතු කළ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ද මැල් ය. සිංහල සේවය අනුයමින් බී. බී. සී. ලෝක සේවයේ වෙනත් විදේශ සේවාවන් ද එ සේ සී. ටී. හා සංවාද පවත්වා විකාශය කොට තිබේ.  

නා
වලපිටියේ ශාන්ත මේරි දේවස්ථානයේ කන්තාරු ගැයීමෙන් ගායනයෙහි බුහුටිකම් ලත් සී. ටී. ගේ සවන්හි ලැගුම් ගෙන තුබුණේ බටහිර නාද රටා ය. එ බැවින් ඔහු ගේ තනු රචනාවලින් දේශීය නාද මාලා අපේක්‍ෂා කරනු උගහට ය. සී. ටී. ගේ නිර්මාණවලින් දක්නට ලැබුණේ බටහිර ජනප්‍රිය ගීත ආකෘතින්හි ආභාසය යි. සී. ටී ගේ ගීතවලට හා ඉදිරි පත් කිරීමේ ශෛලියට නැට් කිංකෝල් නම් ඉංගිරිසි ගායකයා ගේ ආභාසය ලැබී ඇති බව නදීක ගුරුගේ පෙන්වා-දෙයි. ඔහු ගේ “සැළලිහිණි කොවුල් හඬ” ගීයෙන් “There’s a tavern in the town” නම් ඉංගිරිසි ගීයේ යම් ප්‍රතිරාවයක් ඇසෙන බව වරක් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර සඳහන් කොට තිබේ. යනීනා නම් පෝලන්ත ගායිකාව 70 දසකයේ දී තැටිගත කළ ගීයක ආභාසයක් සී. ටී. ගේ “බේරෙන පැණි බිඳු රතු මී වද බඳු” ගීයේ තනුවෙන් පිළිබිඹු වන බව මහාචාර්ය සුනිල් ආරියරත්න දක්වයි. එ මෙන් ම සී. ටී. ගේ “සීගිරි සුකුමාලියේ” ගීය බොසානෝවා රිද්මයෙන් (Bosanova Rhythm) ලංකාවේ බිහි වූ පළමු ගීය ලෙස සැලැකේ. ඔහු ගේ “රන්වන් රන් කෙඳි පීරලා” ගීය සිංහල ගීත සාහිත්‍යයේ මුල් ම රොක් ඇන් රෝල් (Rock & Roll) ගීතයකි. එ මතු නො ව, සී. ටී. ගේ ගීතවලින් ස්පාඤ්ඤ ගීත සම්ප්‍රදායයේ පැහැදිලි ආභාසයක් දැකිය හැකි බව බී. බී. සී. මාධ්‍යවේදී ජෝන් මයර්ස් (John Myers) සඳහන් කැරැ තිබේ.

නොයෙක් බටහිර සංගීත සම්ප්‍රදායයනට අනුගත සිංහල ගීත නිර්මාණ බිහි කිරීමට අමතර ව බටහිර පන්නයේ ගායනාලංකාර සිංහල ගීත නිර්මාණවල යෙදීමෙන් රස ජනනය කිරීම ද සී. ටී. උත්සුක වී තිබේ. රීටා ජෙනිවිව් ප්‍රනාන්දු (ලතා වල්පොළ) ඇතුළු පිරිසක් සමඟ ඔහු ගැයූ ජනප්‍රිය කිතු බැති ගීයක් වන “රෑ තරු බබළනවා” ගීයෙහි හඬ ප්‍රතිරාවය හා අධිප්ලුතිය (Echoing and Overlapping) නම් බටහිර ගායනාලංකාර යොදා-ගෙන තිබේ. එ මෙන් ම යුග ගීයක් නො වන “අපි ඇවිදිමු හඳ පානේ” ගීයෙහි අන්තරා කණ්ඩයෙහි (Interlude) පමණක් කාන්තා හඬක් සුසංගතිය (Harmony) හා ගූමනය (Humming) පිණිස යොදා-ගෙන තිබේ. මේ සී. ටී. ගේ සංගීත විෂයක අත්හදාබැලීම් ය. 
            
සී. ටී. හට පූර්වයෙහි සිංහල ගීයට බටහිර ලක්ෂණ මුසු කිරීමට ප්‍රමුඛ වූවන් අතර මොහොමඩ් ගවුස්, බී. ඇස්. පෙරේරා, පී. ඩී. වින්සන්ට් පෙරේරා හා ආර්. ඒ. චන්ද්‍රසේන ආදිහු වෙති. එහෙත් සිංහල ගීත සාහිත්‍යයේ බයිලා නො වන බටහිර ගී ආරක් බිහි කිරීමට ප්‍රමුඛ වූයේ මෙ ලෙස බටහිර සංගීත සම්ප්‍රදායයන් හා ගායනාලංකාරයන් සිංහල ගීතයට හඳුන්වා-දුන් සී. ටී. ය. ඔහු ගේ ප්‍රමුඛත්වයෙන් බිහි වූ මේ ගීත සම්ප්‍රදායය සිංහල ජනප්‍රිය ගීත (Sinhalese Pop) යනුවෙන් හඳුන්වන ලද්දේ එවක ගී තැටි නිෂ්පාදකයකු වූ ජෙරල්ඩ් වික්‍රමසූරිය විසිනි.

ජනප්‍රිය ගීත සම්ප්‍රදායයේ අවශ්‍ය අංගයක් වන ප්‍රාසංගිකත්වය පිළිබඳ ව පර්යේෂණ කළ අයකු ලෙස ද සී. ටී. හඳුනා-ගත හැකි ය. ඊට හොඳ ම නිදසුන ඔහු ගැයූ “පරවුණු මල් නැවැත නැතේ පිපෙන්නේ” ගීය යි. එහි මුල් තැටිගත කිරීම ම සජීවී සංගීත ප්‍රසංගයෙක දී ගැයුණු ගීයක ස්වරූපය ගනී. ගීතය අතරතුර ප්‍රසංග වේදිකාවෙක උද්දාමයෙන් හඬ නඟන්නවුන් ගේ නොයෙක් කෑ ගැසීම් ඇසේ. මේ වනාහි මින් පෙර කිසිවකු ගේ ගීයක දක්නට නො ලැබුණු ලක්ෂණයෙකි. එ වක පැවැති අවම ශිල්පීය පහසුකම් භාවිතයෙන් මෙ වැනි අත්හදා බැලීමක් කිරීම ප්‍රශංසනීය වේ. සී. ටී. ගේ සජීවී ගායනයේ තුබූ ප්‍රාසංගිකත්වය හා එ වක ඔහුට තුබූ ජනප්‍රියතාව කෙතෙක් ද යත් ඔහු ගේ සංගීත ප්‍රසංග බැලීම සඳහා ප්‍රසංග ශාලාවන්හි දොරජනෙල් කඩා-ගෙන ජන ගඟ ගැලූ අවස්ථා ඕනෑ තරම් පැවැති බව ඔහු ගේ රසිකයෝ අදත් සිහි කෙරෙති.

එ කල ජනප්‍රියත්වයේ මුදුන් ඉමෙහි සිටි සී. ටී ගේ ජනප්‍රිය සංගීත අනන්‍යතාව ගුරු කොට-ගෙන නිර්මාණ කරණයට අවතීර්ණ වූ ශිල්පීහු බොහෝ වූ හ. ඒ අතර සිංහල කණ්ඩායම් සංගීතයේ පුරෝගාමියා වූ ක්ලැරන්ස් විජේවර්ධන කැපී-පෙනේ. ‘ලොස් කැබරලොස්’ නම් කැලිප්සෝ සංගීත කණ්ඩායමේ නායකයා වූ නෙවිල් ප්‍රනාන්දු ද ක්‍ෂේත්‍රයට අවතීර්ණ වූයේ සී. ටී. ගේ ගී ගයමිනි. ඔහු කලක් තිස්සේ අඛණ්ඩ ව සී. ටී. ගේ ගී ගැයූ නිසා වෘත්තීය ගායකයකු වූ සී. ටී. අපහසුතාවට පත් වූ අතර නෙවිල් ප්‍රනාන්දු ස්වතන්ත්‍ර ගීත ගැයීමට පෙලැඹූ ප්‍රධාන සාධකයක් වූයේ ද මේ අරබයා සී. ටී. ගෙන් එල්ල වූ විරෝධය යි. කෙසේ නමුත්
ක්‍රිස්ටෝපර් පෝල්, සී. ඩී. ෆොන්සේකා (ඈත කඳුරැලි සිඹ සිඹ දැවටිලා), කාන්ති වක්වැල්ල (දුර පෙනෙන තැනිතලා), සිඩ්නි ආටිගල (පැලේ වසන රන්මලී), රෝහිත ජයසිංහ (සෝබන සැන්දෑවේ සීතල මඳ පවනේ) යන ශිල්පීන් පෙරට ගෙන ගියේ සී. ටී. බිහි කළ සිංහල පොප් ගී ආර බව ඔවුන් ගේ නිර්මාණ විමසා බැලූ කල පෙනේ. පාසල් වියේ දී සී. ටී. ගේ ගී ගායනා කළ විජය කුමාරතුංග ගේ “රෝස සිහිනයේ සිනා රේඛා” ගීයෙන් සී. ටී. හඬේ ඡායාවක් ඇසෙන බවත් ජිප්සීස් සුනිල් පෙරේරා ගේ බොහෝ මුල් නිර්මාණ සී. ටී. ගේ ආභාසය පිළිබිඹු වන බවත් සුනිල් මිහිඳුකුල පෙන්වා-දෙයි. මේ අනුව සී. ටී. හුදු ගායකයකු ලෙස ලඝු කළ හැකි නො වේ. ඔහු සිංහල ගීත සාහිත්‍යයේ යුග කාරක පුරුෂයෙකි.

සී. ටී. ගේ ගීත ජනාදරයට පාත්‍ර වීමට ප්‍රධාන හේතුවක් වූයේ ඒවාහි සරල පදමාලාව හා මධුර සංගීත සංයෝජනය යි. ඒ වන විට සිංහල ගීත සාහිත්‍යය ගිල-ගෙන පැවැති සංස්කෘත පද බහුල යාන්ත්‍රික භාෂාවකින් ලියැවුණු පද මාලා වෙනුවට සී. ටී. තෝරා-ගත්තේ ඉතා සෞම්‍ය වාංමාලාවකින් සෞම්‍ය අනුභූතීන් ප්‍රතිනිර්මාණය කැරෙන පද මාලා බව පෙනේ. “කිම ද සුමිහිරියේ”, “ආනෙ ඩිංගක් ඉන්න කෝ”, “බේරෙන පැණි බිඳු”, “ලෝ අඩ නින්දේ”, “දවස ගෙවී දැන් ටික ටික” ආදි බොහෝ පද මාලා මීට නිදසුන් කොට පෙළ ගැස්විය හැකි ය. සුනිල් සාන්ත හැරුණු කොට ඒ වන විට හෙළ ගීයේ හද බස වටහා-ගෙන සිටි ශිල්පීන් කිහිප දෙනා ගෙන් අයකු ලෙස සී. ටී. හැඳින්වීම සාධාරණ ය. මේ සී. ටී. ගේ ගීත සාහිත්‍යයේ තවත් පැතිකඩකි.

සී. ටී. ගැයූ බොහෝ ගී ආනුභුතික හා ආකෘතික නව්‍යතාවෙන් ද අනූන විය. එ නම් වස්තු විෂයය හා ඉදිරි පත් කිරීම අතින් ඔහු ගේ බොහෝ නිර්මාණවල අපූර්වත්වය නොමඳ ව ගප් වී තිබිණි. “කැලෑ මල නො වේ”, “සරුංගලේ සරුංගලේ”, “මා බාල කාලේ”, “රෑ පැල් රැකලා”, “අපි ඇවිදිමු හඳ පානේ” වැනි ගීත ඊට පොදුවේ නිදසුන් කළ හැකි ය. ඊට අමතර ව තම ජීවිතයේ සමීපතමයන් හා එදිනෙදා සමාජයේ නිතොර හමු වන පුද්ගල චරිත පිළිබඳ ව ගැයීම ද සී. ටී. ගේ විශේෂත්වයෙකි. “සමන් කැකුළු අතුරලා” ගීය සී. ටී. ගැයුවේ පිය බිරිය වූ ධනවතී වෙනුවෙනි. “බිළිඳා නැළැවේ” ගීය ඔහු ගැයුවේ ඔහු ගේ එක ම පුතු වූ ප්‍රියන්ත වෙනුවෙනි. උක්ත ගීත ද්වයයෙහි අන්තර්ගත මුදු හැඟුම් හා සිලිටි බස් වහර නිසා එ වක මේ ගීත නොමඳ විචාරක අවධානය දිනී ය. අනෙක් අතට සැමියකු ගේ දෘෂ්ටියෙන් බිරිය ගැනත් පියකු ගේ දෘෂ්ටියෙන් බිළිඳු පුතු ගැනත් ගැයුණු ගී හැටේ දසකයට පෙර සිංහල ගීත සාහිත්‍යයේ කොපමණ තිබිණි දැ යි සොයා බැලිය යුතු ය. එසේ ම සී. ටී. “මගෙ සුදු මාමේ” ගීයෙන් ගැයුවේ රා මදින්නකු ගැන ය; “බරබාගේ” ගීයෙන් ගැයුවේ ගැල්කරුවකු ගැන ය; “එළවළු පලා කියා” ගීයෙන් ගැයුවේ එළවළු වෙළෙන්දියක ගැන ය. මේ ගී තුන ම බටහිර සංගීතය මුසු නිර්මාණ වුව ද ඇරැඹෙන්නේ සීපද ගායනාවලින් වීම විශේෂත්වයෙකි. ගැමි සුන්දරත්වය හා ගැමි චරිත පිළිබඳ ව ගැයුණු මෙ වැනි ඇතැම් ගීවල ඇත්තේ නාගරිකයකු ගම දෙස හෙළන දෘෂ්ටියක් බව බොහෝ විචාරකයන් ගේ මතයෙකි.

හැටේ දසකයේ දී  ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ම ගායකයකු වූ නමුත් සී. ටී. ගීත දහස් ගණනක් ගැයූ ශිල්පියෙක් නො වී ය. ඔහු ගැයූ ගීත සංඛ්‍යාව එකසිය හැත්තෑ පහ (175) නො ඉක්මවයි. ඒ අතුරින් “මී අඹ වනයේ”, “මී වදයකි ජීවිතේ”, “ලක්‍ෂ ගණන් වස්තු ලැබී”, “ඈත කඳු රැලි”, “හිමේ සමන් දෙවි පිහිටෙන්”, “සෝබන ලු කොළඹ”, “ළා තණ නිල්ල යි”, “නිසයුරු මුතු වැල්”, “අසරණයා දුගී” වැනි ගීත පහළොවක් (15) පමණ චිත්‍රපට ගීත විය. සී. ටී. ගේ ගී ගොනුවේ දේශාභිමානී ගීත, කිතු බැති ගීත, මවු ගුණ ගීත, ප්‍රේම ගීත, ළමා ගීත, විනෝද ගීත, ආදි හැම ආරක ම ගීත දැක්ක හැකි ය. ඔහු නො ගැයුවේ බුදු ගුණ ගී සහ විරහ ගී පමණි. බෞද්ධයකු නො වූ සී. ටී. බුදු ගුණ නො ගැයීම ගැන විස්මයයට පත් වන්නට දෙයක් නැත. එහෙත් ඔහු විරහ ගී නො ගැයුවේ ඔහු ගේ සෞන්දර්යවාදී ජීවන දර්ශනය හා එවැනි අනුභූතීන් නො පෑහුණු නිසා බව කිය හැකි ය. ඔහු ගැයූ “මී වදයකි ජීවිතේ”, “පරවුණු මල් නැවැත නැතේ පිපෙන්නේ”, “අවදි වන්න අවදි වන්න”, “අද ද ඊයෙ වාගෙම සන්තොසින් ගෙවේ වා”, “රන මොනරයි රන මොනරියි විලාසේ” වැනි ගීතවලින් පිළිබිඹු වන්නේ ඔහු ජීවිතයේ සුන්දරත්වය උපරිමයෙන් ආස්වාදය කළ එපිකියුරියානුවකු (Epicurean)
වූ බව යි. ජීවිතයේ දුඃඛ පක්‍ෂය බදා-ගෙන විස්සෝප වීම සී. ටී. ගේ ජීවන දර්ශනය නො වූ බව මේ ගීත කිහිපයෙහි පදමාලා පිරික්සීමෙන් පැහැදිලි වේ.        

ගුවන් විදිලියෙන් සරල ගී ගායනයට පිවිසි සී. ටී. 1951 වසරේ පටන් ‘හිස් මාස්ටර්ස් වොයිස්’ (HMV), ‘ෆිලිප්ස්’ (Phillips), ‘ජෙම් ටෝන්’ (Gem Tone),
කොළොම්බියා’ (Colombia), ‘සූරිය’ (Sooriya), ‘සිල්වර් ලයින්’ (Silver Line) වැනි තැටි සමාගම් වෙතින් තම ගීත තැටි නිකුත් කෙළේ ය. එක් දහස් නවසිය හැත්තෑ ගණන්වල අග ‘ප්‍රියන්ත’ නාමයෙන් ද ඔහු ස්වකීය ගී තැටි කිහිපයක් නිෂ්පාදනය කොට තිබේ. මීට අමතර ව ‘සී. ටී. හඬ - 1’, ‘සී.ටී. හඬ - 2’, සුවඳ රෝසමල්’ යනුවෙන් ස්වකීය ගීතවල පදමාලා රැගත් පොත් කීපයක් ම සී. ටී. විසින් පළ කොට තිබේ. ‘සී. ටී. හඬ - 1’ ගීත සංග්‍රහයට ප්‍රස්තාවනාව සැපැයූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර එහි ලා සී. ටී. හඳුන්වනුයේ ‘වර්තමාන සිංහල සංගීතය නැංවීමට උපකාර වූවන් අතර ප්‍රමුඛ ස්ථානයක් දරන්නකු’ ලෙසිනි. සී. ටී. ගේ රුව කිසි දා පුඤ්චි තිරයට නො නැඟුණේ මෙ රට රූපවාහිනී මාධ්‍යයේ ආගමනයට පළමු ව ඔහු මෙලෝ හැර ගිය බැවිනි. එ බැවින් සී. ටී. ගේ රුව දැක-ගත හැක්කේ ඔහු සුළු චරිත රැඟූ ‘දෙයියන්නෙ රටේ’, ගම්පෙරළිය’, පාරා වළලු’ යන චිත්‍රපට කිහිපයෙන් පමණි.

අපමණ ජනාදරයට පාත්‍ර වූ ගායන ශිල්පියකු වුව ද සී. ටී. හට ක්‍ෂේත්‍රය තුළ අඩන්තේට්ටම් හා කෙණෙහෙළිකම් අතින් අඩුවක් තුබුණේ නැත. මුලින් ම සී. ටී. ප්‍රබුද්ධයන් ගේ ගර්හාවට ලක් වූයේ ඔහු ගේ උච්චාරණය නිසා ය. ඇතැම් සිංහල වදන් සී. ටී. හට උච්චාරණය වූයේ අසිංහල විලාසයකිනි. මෙය සී. ටී. හිතාමතා කළ වැඩක් නො වේ. ඔහු ගේ දත් දෙපෙළෙහි පිහිටීමත් ඉංගිරිසි උච්චාරණයෙන් ලත් ආභාසයත් නිසා අ, ඔ වැනි ස්වර ශබ්දත් ච, ජ, ස, ත, ද වැනි ව්‍යඤ්ජන ශබ්දත් ඔහුට උච්චාරණය වූයේ ඉංගිරිසි භාෂකයකුට මෙනි. මෙය ඇතැම් විචාරකයන් ගේ බරපතළ දෝෂ දර්ශනයට ලක් විය. එහෙත් එවක මොහිදීන් බෙග් “ටිකිරි මෙණිකෙ එම්බුල ගෙනල්ලා” යි ගයන විට නිහඬ ව පසු වූ ගුවන් විදිලියේ ප්‍රබුද්ධයන් සී. ටී. ගේ උච්චාරණය ගැන පමණක් කිපී ගෝරනාඩු කිරීම මධ්‍යස්ථ විචාරකයකු වූ ආචාර්ය තිස්ස අබේසේකර ගේ ඉමහත් විවේචනයට ලක් විය.

1977 දී හෘදයාබාධයක් වැළැඳී සී. ටී. මිය ගිය ද ඊට සිවු වසරකට පෙර 1
973 දී  ඔහු මානසික ව මරා දැම්මේ ගුවන් විදිලිය බව සුනිල් මිහිඳුකුල අවධාරණයෙන් පවසයි. ඒ වසරේ ගුවන් විදිලි ගායක ගායිකාවන් ශ්‍රේණිගත කිරීම සඳහා පැවැති කටහඬ පරීක්‍ෂණයෙන් සී. ටී. විශිෂ්ට ශ්‍රේණියේ ගායකයකු බවට පත් වූයේ නැත. එ දා පරීක්‍ෂණ මණ්ඩලයේ සිටි සුනිල් සාන්ත, ඩබ්ලිව්. ඩී. අමරදේව, එච්. ඩබ්ලිව්. රූපසිංහ යන තිදෙනා අතරින් සුනිල් සාන්ත හැරුණු කොට අනෙක් දෙදෙනා ගේ ම මතය වූයේ, පෙරදිග සංගීතයේ තානාලංකාර ගැයීම අතින් සී. ටී. දුර්වල බව යි. ඔහු විශිෂ්ට ශ්‍රේණියේ ගායකයකු ලෙස ශ්‍රේණිගත නො කිරීමට හේතුව ලෙස ඔවුන් දැක්වූයේ මෙය යි. මේ තීරණයට විරුද්ධ වූ සුනිල් සාන්ත කියා සිටියේ, යම් කටහඬක ගායන ශක්තිය තීරණය කිරීමේ දී ඒ ගායකයාට පුරුදු ගායන සම්ප්‍රදායය අනුව කරන ලද ගායනයක් අනුව වර්ගීකරණය කළ යුතු බව යි. සී. ටී. හට සිදු වූ අසාධාරණය පිළිබඳ ව කතා කළ සුනිල් සාන්ත මෙසේ ද කියා තිබේ: අප ගේ කාර්යභාරය සම්ප්‍රදායයක් පිළිබඳ ප්‍රශ්නයක් නො ව ගායන හැකියාවක් පිළිබඳ ප්‍රශ්නයකි. සංගීතය නිල වසයෙන් කිසි යම් සම්ප්‍රදායයකට සීමා කළ නොහැකි ය. එ සේ කිරීම අසාධාරණයකි. වරක් සී. ටී. ගැන ලිපියක් ලියූ ආචාර්ය තිස්ස අබේසේකර මේ සිද්ධිය මොනොවට විස්තර කොට ඇතැ යි සුනිල් මිහිඳුකුල වැඩි දුරටත් සඳහන් කරයි.

ජීවමාන ව සිටිය දී ම මෙතරම් අසාධාරණයට ලක් වූ සී. ටී. අභාවප්‍රාප්ත වූ පසු වත් නිසි ඇගැයුමකට හෝ හැදෑරුමකට හෝ විෂයය නො වූ බව අප ගේ නිරීක්‍ෂණය යි. සී. ටී. වූකලී සිංහල ගීත සාහිත්‍යයේ නව ආරක් බිහි කළ ශිල්පියෙකි; ළමා ගී සාහිත්‍යය සුපෝෂණය කළ වැඩිහිටියෙකි; ගීයේ හද බස සොයා ගිය රසවතෙකි; සංගීත විෂයයෙහි නව අත්හදාබැලීම් කළ පර්යේෂකයෙකි; සිංහල ගීය අන්තර්ජාතිකයට ගෙන ගිය දේශාටකයෙකි. එ මතු නො ව
1952 දී එංගලන්තයේ විණ්ඩ්සර් මාළිගයේ පැවැති එළිසබෙත් රැජිනිය ගේ මෞලි මංගල්‍යයේ දී ගීත ගැයූ සිංහල ගායකයා වූයේ ද සී. ටී. බව බොහෝ දෙනා නො දනිති. මෙ වන් අද්විතීය ශිල්පියකු වූ සී. ටී. ගේ වියෝවින් පසු තිස් පස් වසරක් තිස්සේ සී. ටී. පුත්‍ර ප්‍රියන්ත ප්‍රනාන්දුට දිවයින පුරා සංගීත ප්‍රසංග සඳහා ලැබෙන අඛණ්ඩ ආරාධනා සමුදායය ම සී. ටී. ගේ අවිච්ඡින්න ජනප්‍රියතාව පිළිබඳ අභේද්‍ය සාක්ෂ්‍ය යි. එහෙවු සී. ටී. පිළිබඳ විධිමත් ශාස්ත්‍රාලයීය අධ්‍යයනයක් මේ දක්වා සිදු නොවීම නම් ඓතිහාසික අසාධාරණයක් බව සඳහන් කළ යුතු ම ය.

ආශ්‍රිත කෘති

අබේසේකර, තිස්ස (1971). “සිතුවිලි” පරසතු (ඔක්තෝබර 15). කොළඹ.   

ආරියරත්න, සුනිල් (2002). ශ්‍රී ලංකාවේ කණ්ඩායම් සංගීතය. කොළඹ: ඇස්. ගොඩගේ සහෝදරයෝ.

ගුරුගේ, නදීක (2013). “නූතන ගීතයේ නව ප්‍රවණතා”. ඉපිටුම:  හඬ: ගුවන් විදුලි සඟරාව 9 (2) ජනවාරි -
මාරතු. තිලකරත්න කුරුවිටබණ්ඩාර (සංස්.). කොළඹ: ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව. පි. 164-179.

මිහිඳුකුල, සුනිල් (2012). “
රැජිනගේ මෞලි මංගල්‍යයේ ගී ගැයූ ශ්‍රී ලාංකේය ගායකයා”. දිනමිණ - බද්දර මල්ල (නොවැම්බර 23). කොළඹ: ලේක්හවුස්.

Mahendra, Sunanda (2009). “C. T. Fernando – As I remember him”. Daily News (17th 
October). Colombo: Lake House.

සමකාලීන ගාලු පුර ප්‍රාදේශික ව්‍යවහාරය පිළිබඳ වාග්විද්‍යාත්මක අධ්‍යයනයක්


ජන වහරේ යෙදෙන ජීව භාෂාවක් කලින් කලටත් පළින් පළටත් වෙනස් වීම ලෝ දහම යි. යම් බසක් කතා කරන භාෂක සමාජයක් (
Speech Community) සැතැපුම් සිය-දහස් ගණනෙකින් විසාල භූගෝලීය ප්‍රදේශයෙක පැතිරැ-ගිය කල, පෙදෙසින් පෙදෙසට බස් වහරේ විවිධතා ඇති වේ. මෙ කී ප්‍රදේශ අතරෙහි සන්නිවේදනය ඝනත්වය (Density of Communication) දුබල වීමත්, උපසංස්කෘතික පරිසරයන්හි බල-පෑමත් (Sub-cultural Contact) මෙ ලෙස බස් වහර වෙසෙස් වෙස් ගැනීමට ප්‍රධාන හේතු ලෙස වාග් විද්‍යාඥයෝ දක්වති. මෙ ආකාරයට ප්‍රාදේශික වසයෙන් බස් වහරෙහි දක්නා ලැබෙන විශේෂතා හැදෑරීම භූගෝලීය වාග්විද්‍යාව (Geographical Linguistics) නම් වේ.

භූගෝලීය වපසරිය අනුව බෙහෙවින් කුඩා කොදෙවුවක් වුව ද ශ්‍රී ලංකාවේ නොයෙක් පෙදෙස්හි පවත්නා සමාජ-සංස්කෘතික විශේෂතා මත බිහි වූ ප්‍රාදේශික උපභාෂා ව්‍යවහාර (
Regional Dialects) බොහෝ දැක්ක හැකි ය. පියසේන කහඳගමගේ, මහාචාර්ය ජේ. බී. දිසානායක වැනි වියත්තු සිංහළයේ ප්‍රාදේශික ව්‍යවහාර පිළිබඳ ව බොහෝ පිරියෙසුම් කැරැ ඇත්තෝ ය. ඔවුන් ‘රුහුණු සිංහළය’ (Southern Sinhala) යනුවෙන් හඳුන්වන, ‘දකුණු පළාත් උපභාෂාව’ අනෙක් ප්‍රාදේශික උපභාෂා  ව්‍යවහාරවලට සාපේක්ෂ වැ ප්‍රකට බවක් පෙන්නුම් කරයි. මේ අධ්‍යයනය එ කී සාම්ප්‍රදායික ‘රුහුණු සිංහළය’ ගැන කැරෙන පූර්ණ විමර්ශනයෙක් නො වේ; මෙහි ලා විෂයය වනුයේ ගාලු නගරයෙන් සැතැපුම් දෙකක්-දෙකහමාරක් පමණ නුදුරින් පිහිටි බෝපේ, කුඹල්වැල්ල, රිච්මන්ඩ් කන්ද යන අර්ධ නාගරික ප්‍රදේශයන්හි ශේෂ ව පවත්නා සමකාලීන ප්‍රාදේශික ව්‍යවහාර විතර යි.

මේ අධ්‍යයනයේ දී සාහිත්‍ය පරිශීලනය
(Literature Review), සහභාගීත්ව නිරීක්ෂණය (Participative Observation), සම්මුඛ සාකච්ඡා (Interview) යන ක්‍රමවේද ඉවහල් කොටැ-ගැනිණි. සාමාන්‍යයෙන් උපභාෂාවක් පිළිබඳ ව සිදු වන වාග්විද්‍යාත්මක අධ්‍යයනයෙක දී ඒ වහරෙහි ශබ්දෝච්ච්චාරණය (Pronunciation), වාක්කෝෂය (Vocabulary), ව්‍යාකරණය (Grammar) යන ඉසවු තුන මැ සංස්පර්ශ කැරෙන මුත්, මෙහි දී අප අවධානය යොමු වූයේ වාක්කෝෂය වෙත පමණි.

ගාල්ලේ එක් වැඩිහිටියකු ගෙන් අප තොරතුරු විතාළ විට, “ඔයැයි මක්කටෙයි මේව හොයන්නෙ?” යි හෙතෙමෙ අප ගෙන් ඇසී ය. ඔහු ගේ ඒ පැනය ම ගාලු උපබසෙහි විශේෂ යෙදුම් කිහිපයක් පෙන්නුම් කරයි. සම්මත උපභාෂාවේ (
Standard Dialect) “ඔයා” යි යෙදෙන සර්වනාම පදය ගාල්ලේ දී “ඔයැයි” බවට පත් වේ. එ ලෙස ම “එයා”, “මෙයා” යන සර්වනාම පදත් ගාලු වැසියන් ගේ වහරේ “එයැයි”, “මෙයැයි” බවට පත් වේ. “මෙයැයි කියන දෙයක් අහන ඉළන්දාරියෙක් නෙවෙයි” කියා ගාල්ලේ වැඩිහිටියකු දොස් නඟනුයේ අකීකරු තරුණයකුට ය. “මක්කයි?”,  “මක්කටෙයි?” වැනි පද ගාල්ලට වඩා සුලබ ව හමු වනුයේ මාතර වහරේ ය. “මක්ක ද?”, “මක්කට ද?” ඈ පදත් මීට පර්යාය වැ භාවිත වේ. “කුමකට ද?” යන්න කට වහරෙහි විපරිණාමය වීමෙන්  “මක්කට ද/ මක්කටෙයි” වැනි යෙදුම් නිපන් බව යි, අපට පෙනෙනුයේ: “කුමකට  > මකට  > මක්කට” යනුවෙනි. ප්‍රශ්නාර්ථයේ “ද” නිපාතය වෙනුවට “අයි/එයි” වැනි අන්තයක් ද ගාලු වහරේ කියැවේ. යමකු බෙහෙවින් පමා වූ විටෙකැ දූරකථනයෙන් අමතා “ඔයැයි දැම්ම එනවයි?” කියා ඇතැමෙක් අසති. “ඔයයි මායි” යනුවෙන් සම්මත කට වහරේ එන යෙදුම ඇතැම් විට “ඔයැයිතුයි මායිතුයි” ආදී වසයෙන් ගාලු වහරේ යෙදේ. ඔයැයි+ත්+යි > ඔයැයිතුයි, මා+යි+ත්+යි > මායිතුයි යනුවෙන් සමුච්චිතාර්ථයේ “ත්” හා “යි” යන නිපාත දෙක ම මෙහි යෙදෙන බවෙක් පෙනේ. 

වත්මන් ගාලු නාගරිකයේ ව්‍යවහාර වන ඤාති නාමවල (
Kinship Terms) නම් සම්මත උපභාෂාවට වඩා වෙනස්කම් ඇත්තේ මඳ විසිනි. “අම්මා-තාත්තා, ආච්චි-සීයා, නැන්දා-මාමා, අයියා-අක්කා, නංගි-මල්ලි” යන පද ඔහු ව්‍යවහාර කෙරෙති. මේ අතරින් “අම්මා-තාත්තා, ආච්චි-සීයා, අයියා-අක්කා, නංගි” යනු දෙමළ බසින් ඍණීකෘත පද (Loaned Words) යි. මෙ පෙදෙස්හි “බාප්පාට” ඇතැමකු “බාප්පොච්චි” කියා කියනුයේ බහුමානයෙනි. “අප්පොච්චි” වැනි වහරක් මෙහි නැතත් “බාප්පොච්චි” යන්නක් ව්‍යවහාර වීම විශේෂත්වයෙකි. “පුඤ්චි අම්මලා” මතු නො වැ ගාල්ලේ “බාලම්මලා”, “මද්දු අම්මලා” හා “හින්නි අම්මලා” ද සිටිති. “පුඤ්චි අම්මා” යනු අම්මා ගේ බාල සහෝදරිය යි. අම්මාට බාල සහෝදරියන් කිහිප දෙනකු සිටින විට “බාලම්මලා”, “මද්දු අම්මලා” හා “හින්නි අම්මලා” කරළියට එති. ඇතැම් උපබසෙක “අම්මණ්ඩි” (අම්මා+ණ්ඩි) යනු ගරු අරුත් දනවතත් ගාල්ලේ කතකට “අම්මණ්ඩි” යි කිය හොත් “කුඩ පාරක්” ලැබෙනු නියත ය. එ සේ ම තම වයසට වඩා “පැහිච්චකම්” කරන “කොලු-කුරුට්ටකු” අරබයා “ඕකා හරි බාප්පෙක්” කියා කියනු ලැබේ. “කුරුට්ටා” යන වදනෙහි ප්‍රකෘතිය “කුරුටු” බව අප ගේ නිරික්සුම යි. කුඩා යන අරුත දෙන “කුරු” යන්නට “අටු” යන ස්වාර්ථ තද්ධිතය එක් වීමෙන් “කුරු+අටු>කුරුටු” යන්න නිපැදී ඇති සේ ය. ඒ අනුව “කොලු-කුරුට්ටා” යනු කුඩා කොලුවා යැ.       

ගාලු නාගරිකයේ “මහත්තුරු” (මහ+ අත් +වරු) ද බහුල ය. “ලොකු මහත්තයා, පොඩි මහත්තයා, හින්නි මහත්තයා, හිච්චි මහත්තයා, බේබි මහත්තයා, සුදු මහත්තයා,
කළු මහත්තයා, රතු මහත්තයා, රන් මහත්තයා” ආදීහු ගාල්ලේ බොහෝ වෙති. මේවා බොහෝ විට වැඩිහිටියන් තම දරුවන් කුඩා කල සිට මැ ඇමැතූ සුරතල් නම් (Pet Names) ය. මේ අය අතරෙන් ඇතැම් මහත්තුරුන් පිට පෙදෙස්වල ද සිටිය හැකි නමුදු “හින්නි මහත්තයලා” සහ “හිච්චි මහත්තයලා” ගාල්ලෙන් හා මාතරින් පිට සුලබ නැත. ගාල්ලේ “නෝනලා” ද වෙති. ඇතැමෙක් “හින්නි නෝනලා” ය; ඇතැමෙක් “හිච්චි නෝනලා” ය; ඇතැමෙක් “සුදු නෝනලා” ය. විශේෂණ නැති නිකම් ම “නෝනලා” ද  “එමට යි”. මේවා ද සුරතල් නම් ය. දෙමාපියනට අමතර ව ගමේ සමහර “ඈයන්” ද මේ නම් කියා එකිනෙකා අමතනුයේ හිතවත්කමට ය. “ඈයෝ/ඈයන්” යනු “අය” යන සර්වනාමයෙහි විපරීතයෙකි. මාර්ටින් වික්‍රමසිංහ ගේ සාහිත්‍ය කෘතිවල ද මේ වහර හමු වේ. එ හෙත් වෙනත් පළාත්වල අයට මෙ වදනින් සිහි වනුයේ “කැබැල්ලෑවා” (Anteater) ය. කෙ සේ වෙතත් “දාංගලේ” ඇති “මහත්තුරුන්” සමඟ යොවුන් වියේ “නෝනලා” වැඩි “බජනෙට” යනවාට ඔවුන් ගේ දෙමාපියෝ නොකැමැතියහ. “ඕකුන් එක්ක ඇයි-හොඳයියක් නැතුවට කමක් නැහැ” යි ඔහු තරවටු කරති. සකු, පෙළ බස්හි “ඇසුරු කිරීම” යන අරුත දෙන “භජ්” ධාතුවෙන් සිද්ධ “භජන (භජ්+අන)” යන වදන ඔවුන් උසුරුවන්නේ  “බජනෙ” යනුවෙනි. සිංහළයාට කිසි දාකැ මහාප්‍රාණ කියැවෙන්නේ නැත.

ඉදිරිපිට දී ගෞරවයෙන් කතා කරන විට “නෝනා”, “මහත්තයා” යි කියන්නෝ ම නැති තැන නිග්‍රහ බස් බෙණෙන්නට ද  රුසියෝ ය. “කරන්නා” යන අරුත දෙන “කාරයා” යන සකු වදන කෙනකු ගේ නමක “අග්ගිස්සට” ආඳතොත් ඒ නම් හොඳක් කියන්නට නො වේ. “මුදලාලිකාරයා හද්ද කුණා” යි කීවොත් ඉන් අදහස් වන්නේ “මුදලාලි මහා ලෝභයකු” බව යි. “ජේමිස් කාරයා ම-ගේ රුපියල් සීයකට විද්දා” යි කියතොත් ජේමිස් රුපියල් සියයක් වඤ්චා කළ බවක් හෝ සොරකම් කළ බවක් හෝ ඇඟැවේ. “හද්ද” යනු බෙහෙවින් යනු යි. “හද්ද පිටිසර” යි කියන්නේ බොහෝ දුෂ්කරතා ඇති ඌන සංවර්ධිත ප්‍රදේශවලට ය. පාසලේ දී කැපැවීමෙන් නූගන්වන ගුරුවරයකු අරබයා “ඒ සර්
හද්ද අයිස්කාරයා” යි ගාලු සිසුන් “ආඩපාළි” කීවොත් එහි අරුමයෙක් නැත. ගුරුකම් දීම ඇදුරා ගේ කාරිය වියැ යුතු බැවිනි. එ හෙත් ගාල්ලේ නම් “ඇදුරා” යි කියන්නේ පාසල් ගුරුවරයාට ම නො වේ; කට්ටඩියෝ ද එ නමින් ගැණෙති. “ගුරුකම්” යනුත් “යාතුකර්ම” යන අරුතින් යෙදේ.              

“වැඩ බැරි වුණත් ගම ගාල්ලේ” යි ඇතැමුන් අවමානයට කියන බස ගාලු වැසියෝ “එහෙම්පිටිම්ම” පිළිකෙව් කෙරෙති. ඔවුනට ඕනෑ ම දෙයක් “කජ්ජු කනවා වාගේ” ය. ඒ නිසා “වැඩත් ඇහැකි - ගමත් ගාල්ලේ” යනුවෙන් ඔහු පවසති. එ+හැම+පිටින්+ම > එහැමපිටින්ම > එහෙමපිටින්ම > එහෙම්පිටිම්ම යනුවෙන් මේ පදය වහරට අවුත් තිබේ. “කජු” යි සම්මතයේ හැඳින්වෙන පලතුර ගාල්ලේ දී “කජ්ජු” යැ. “කජ්ජු පුහුලම්” ද “රට කජ්ජු” ද යනු කජ්ජු ජාති ය. “ඇහැකි” යනුදු ගාලු වහරේ අනන්‍යතාවෙකි. “අ+හැකි > ඇහැකි” යනු ඒ පදයෙහි නිපැත්ම යි. “ශක්‍ය” යන සංස්කෘත පදයෙන් බිඳී ආ “හැකි” යන්නට ගාලු වැස්සන් එක් කරන “අ” යන අතිශයාර්ථ උපසර්ගය නිසා එහි අරුත ප්‍රබලතර වේ. ඒ නිසා ඔවුනට වැඩ බැරි යැ යි කීම “ටොම්පචයකි”. මේ පදය “ඇහැක්” යන රූපාන්තරය ද ගනී. ගාල්ලේ එක්තරා ගුරුවරයකු පිට පළාතකට මාරුවක් ලබා ගොස්, “ඇහැක් විදියකට කනක් අඳින්නැ” යි සිසුනට කියා “සමච්චලේට” ලක් වූ බව ගාල්ලේ අය ම කියති.   

“මේ කෑමවලට හින්නො වහලා” යි ඉස්සර අපේ තාත්තා කියනු අප අසා තිබේ. ගාලු ජනයා  “හින්නො” යි කියන්නේ කුහුඹුවනට ය. දැන් නම් තාත්තා ගේ වහරිනුදු මෙ වදන දුරස් වී ඇත. විද්‍යාචක්‍රවර්තීන් ගේ  බුත්සරණේ පවා කුඩා කුහුඹුවන් හැඳින්වීමට “සිනි
-සකසිනි” යන වදන් යෙදී තිබේ (සෝරත හිමි, 2000: 05). මේ පදයෙහි නාම ප්‍රකෘතිය “සිනි” යනු යි. එය දෙමළ බසෙහි කුඩා යන අරුත දනවන ‘சின்ன (සින්න) යන වදන හා නෑකම් ඇත්තෙක් දැ යි නෛරුක්තිකයන් විමැසිය යුතු ය. කෙසේ වුව කුහුඹුවාට “හින්නා” යි කියනුයේ ඌ බෙහෙවින් කුඩා සෙයිනි. “මේ හින්නෙක්කිතර විස්කොත්තක් කාල ඇතෙයි?” කියා යමකු කියන්නේ කුඩා විස්කෝතුවක් කා-ලා මදි බව පැවැසීමට ය. “හින්නෙක්+විතර > හින්නෙක්කිතර” යනු “කූඹියකු විතර” යන අර්ථය යි. එ සේ ම “හිච්චි” යන පදය ද ගාලු උපභාෂාවේ අල්පාර්ථය සූචනය කරයි. “බෝතලේ තෙල් හිච්චක්කත් නැහැ” යි කීවොත් තෙල් බිඳකුදු නැති වග වටහා-ගත යුතු ය. “හින්නි මහත්තයලා” සහ “හිච්චි මහත්තයලා” ගාල්ලෙන් හා මාතරින් පිට සුලබ නැතැ යි ඉහතැ කියන ලද්දේ අල්පාර්ථය සඳහා යෙදෙන “හින්නි, හිච්චි” වදන් වෙනත් උපභාෂාවන්හි විරල බැවිනි.       

එළවළු-පලතුරු සඳහා ද ගාලු ජන වහරේ පැනෙන අපූරු නාම කිහිපයෙක් වේ. “කජ්ජු” ගැන මින් පෙර සඳහන් කැරිණි. “වතුකැන” යන වදන වත්මන් ව්‍යවහාරයෙහි අත්‍යල්ප වෙතත් තව ම ගාල්ලේ අය “වතුමොය” ව්‍යඤ්ජනය කති. “වතුකැන” යනු කෙසෙල් කැන යි; “වතුමොය” යනු කෙසෙල් මල යි. “දිවුල්” යනුවෙන් හැඳින්වෙන පලතුර ගාල්ලේ දී “ජූල්” වෙයි. “ජූල්” හා “දිවුල්” යන පද දෙකින් වඩාත් වෘද්ධතර වනුයේ කිමෙක් දැ යි විනිසිය යුතු ය. මන් ද යත් සිංහළ වදන් පරිණාමයේ දී ජ’යන්න - ද’යන්නට පෙරැළුණු අවස්ථා දැක්ක හැකි බැවිනි. බෙහේජ් > බෙහෙද් > බෙහෙත්, ඇජුරු > ඇදුරු, අඦුන් > අඳුන් ආදිය නිදසුනි. “ජූල්” හා “දිවුල්” අතර ඇත්තේ ද මෙ වැනි සබැඳියාවක් විය හැකි යි. කෙවතුදු ඉහත සඳහන් රිච්මන්ඩ් කන්දේ සිට යාර එකසිය පනහක් පමණ නුදුරේ “ජූල්ගහ හන්දිය” නම් සිවුමංසලක් තිබේ. ඊට “දිවුල්ගහ හන්දිය” යි කියන්නෝ ගාල්ලට පිටින් ආවාහු යැ. “අනෝදා” නම් පලතුර ගාල්ලේ සමහරුනට “අනෝනා” නමි. නො පැසුණු පොල් ගෙඩිය “කුරුම්බා” නම් වේ. ළපැටි කුරුම්බාවට “වෑවර” යැ යි කියනු ලැබේ. හොඳින් මෝරා නැති පොල් “කලටි” ය. කෙවතුදු “ගිනිකූටෙ” පයින් යන මනුස්සයකුට “වෑවරයක්” පිළිගන්වන තැනැත්තා ආගන්තුක සත්කාර හඳුනන්නෙකි.

ගාල්ලේ අය පොල් ලෙලි
-ගහන්නේ නැත; ඔහු පොල් “ඔයති.” පොල් ඔයන්නේ පොල් උලෙනි. “ඔයනවා (ඔ+යනවා)” යන ක්‍රියා පදය ගාල්ලේ අනන්‍යතාවක් බඳු ය. ගාලු වහරේ එන තවත් ක්‍රියා පදයෙකි, “හගිස්සනවා” යන්න. මෙය සිංහළයේ අවභාවිත ක්‍රියා පදයෙකි. යමකු කී දැයක් සැබෑ දැ යි නිශ්චය කැරැ-ගැනීමට තව අයකු ගෙන් විමසා-බැලීම “හගිස්සනවා”  නම් වේ. “මෙහෙ එන්න එපා, ඔය එකෙකා ගෙ කේලං හගිස්සන්න” යි ගාලු ජනයා “කඩා-පනින්නේ” තරහ-ගිය විට ය. “කඩා-පනිනවා” මෙන් ම “තරහ-යනවා” යනු ද ගාල්ලේ බහු භාවිත සංයුක්ත ක්‍රියා පද (Composite Verbs) ය. තරහ “යනවා” නම් ඉතින් කෝපයක් තිබෙන්නට විදියක් නැතැ යි මේ වහර නුහුරු අය කල්පනා කෙරෙති. “ලෑස්ති-වෙනවා” යන ක්‍රියා පදය ගාල්ලේ දී ඇසෙන්නේ “ලේස්ති වෙනවා” යනුවෙනි. එහි ස්වර විපර්යාසයක් වී ඇත. “හැඩි-කරනවා” යනුත් ගාලු වහරේ සංයුක්ත ක්‍රියා පදයෙකි. ඊ අරුත කිලිටි කරනවා යනු යි. “මේ ළමයි මුළු ගේ ම හැඩි-කරල, හරියට වල් විහාරෙ වගේ” යි අම්මලා කියති. “හඩු+ඉ>හැඩි” යන්නෙහි අරුත ‘හඩු බවෙන් / කිලිටිබවෙන් යුතු’ යනු යි. තව ද “වල්” යනු කැලෑව යි; “විහාරය” යනු පන්සල යි. කැලෑවේ ඇති පන්සල “වල් විහාරය” යි. එය “අතුපතු ගා-ලා” පිරිසුදු කරන්නට කෙනෙක් නැත. එ බැවින් අපිළිවෙළ යි. “ගොහොදු-වෙනවා” යනු වැසි කාලයේ දී ගාලු ජනයා ගේ මුවට නැඟෙන සංයුක්ත ක්‍රියා පදයෙකි. වතුර වැටීමත්, පයට පෑගීමත් නිසා පොළොව මඩ වූ විටැ මෙ සේ කියනු ලැබේ. “ඔතන ගොහොදු කරන්නෙ නැතුව හිටහන්” වැනි අනාදර විධානයක් ගාල්ලේ වැඩිහිටියකු ගෙන් අසන්නට ලැබිය හැකි ය. “හිටපන්, කරපන්, කියපන්” වැනි විධානක්‍රියා පද (Commands) ගාල්ලේ දී “හිටහන්, කරහන්, කියහන්” යන වෙස් ගනී. ඒවාහි ම බහුවචන රූප “හිටහල්ලා, කරහල්ලා, කියහල්ලා” ඈ වෙසින් සිටී. එ තන්හි හ’කාරාදේශය වී ඇත. “ඕන එකෙකුට කියහල්ල, මං බය නෑ යකෝ!” යි කියන්නේ “හයිකාරයෙකි”. ශක්ති > සවි > සයි > හයි  යනු ඒ පදයේ පරිණාමය යි.

ගාල්ලේ හ’කාරාදේශයේ අඩුවෙක් නැත. “උස, කෙසෙල්, දිසාව” වැනි වදන් ගාල්ලේ දී ඇසෙන්නේ “උහ, කෙහෙල්, දිහාව” ඈ විසිනි. ස්ථානාර්ථයේ “අස” යන වදන ද එහි දී “අහ” යන රුව ගෙන යෙදේ. “ඕන අහක පලයං” කියා කෝප වූ විට බැණැ
-වැදුණු අය ම “අනේ, ඒ මනුස්සයා මොන අහක ගියා ද මන්දා” යි කියමින් සොයන්නේ වහා හිත උණු වන බැවිනි. උස් බිමෙක පිහිටි නිවෙසකට “උඩහ (උඩ+අහ)” යි කියන මේ අය පහත් බිමෙක පිහිටි නිවෙසකට “පල්ලෙහ (පල්ලෙ+අහ)” යි කියත්.       

ජන මාධ්‍යයන් ඔස්සේ සම්මත උපභාෂාව ව්‍යාප්ත වීම නිසාත්, නාගරිකකරණය නිසාත් අදින් දසක කිහිපයකට පෙර මෙ පෙදිස්හි වහරේ පැවැති බොහෝ යෙදුම් මේ වන විට වියැකී
-ගොස් ඇති බවෙක් පෙනේ. එ හෙත් ව්‍යවහාරයෙන් නො ගිලිහුණු යෙදුම් ද නොමඳ බව මෙහි දැක්වුණු තතු ඇසුරින් නිගමනය කළ හැකි යි. ගාලු දිසාවේ ග්‍රාමීය ප්‍රදේශයන්හි නම් තව මැ බොහෝ ව්‍යවහාර විශේෂතා දක්නා ලැබේ. මේ විමැසුමට ඒවා අවිෂයය යි. කෙසේ වෙතත් වත්මන් ගාලු පුරයේ අර්ධනාගරික පරිසරයෙහි ව්‍යවහෘත ප්‍රාදේශික උපභාෂාව (Regional Dialect of Semi-urban Galle) පිළිබඳ ව යම් අවබෝධයක් ලැබීමට මේ සංක්ෂිප්ත විමර්ශනය ඉවහල් වනු ඇතැ යි විශ්වාස කරම් හ.


ආශ්‍රිත ග්‍රන්ථ

කුමාරතුංග, මුනිදාස (1936). සංක්ෂිප්ත දශ කුමාර චරිත ප්‍රදීපය. කොළොඹ: පහන් පහර.

කහඳගමගේ, පියසේන (1998). ප්‍රාදේශීය ව්‍යවහාර. කොළොඹ: ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ.

දිසානායක, ජේ. බී. (1976). සිංහල ජන වහර. කොළොඹ: සී/ස. ලේක්හවුස් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම.

සෝරත හිමි, වැලිවිටියේ (සංස්.). (2000). විද්‍යාචක්‍රවර්තීන් විසින් විරචිත බුත්සරණ (නව මුද්‍රණය). කොළොඹ: සී/ස. සමයවර්ධන ප්‍රකාශකයෝ.

Gunasekara, A. M. (1891). A Comprehensive Grammar of the Sinhalese Language (Reprint -    1999)
. New Delhi/Madras: Asian Educational Services

(මේ ලිපිය 2014 වසරේ දී සහෘද ප්‍රසාදි ශාස්ත්‍රීය සංග්‍රහයේ  මංගල කලාපයේ පළ වූ අතර දිවයින පුවත් පතෙහි වටමඬල අතිරේකයේ ද පළ විය)