උදේ ම ක්ලැරන්ස් කෙනකු හමු වුණෙමි...

දුම්රිය රිච්මන්ඩ් කන්දෙන් පිටත් වූයේ පාන්දර පහ යි පහට ය. රෑ තිස්සේ නිඳි වැරීමෙන් විඩාවට පත් ව සිටි මා දුම්රියට ගොඩ වූයේ ම කොළොඹට ළඟා වන තුරු සැප නින්දක් ලැබීමේ අපේක්ෂාවෙනි. ටිකක් වැඩි මිලක් දී දෙ වැනි පංක්තියේ අසුනකට වරපත ලැබූයේ ද සැප නින්ද එ තරම් ම වැදැගත් නිසා ය. ඇත්තෙන් ම පැය දෙක හමාරක් පමණ ගත වන තුරු මට සැප නින්දෙක් ලැබිණි. හීනයක් දෙකක් පෙනුණු බවට ද ළා මතකයෙක් තිබේ.

මා එක වර ම උඩ විසි වී අවදි වූයේ කන උඩ වැයුවා සේ ඇසුණු බොක්ස් ගිටාර නාදයෙකිනි. මම තිගැස්සී වට පිට බැලුවෙමි. බොක්ස් ගිටාරයක් බදාගෙන මා අසලින් ම හිටගෙන සිටියේ කාල වර්ණ තුංග දේහධාරි පුරුෂයෙකි. ඔහු ගේ අක් බඹරු කෙස්සට හුඟ කලෙකින් පණාවක් පෙන්වා නැත. රවුල ද දින දෙක තුනෙකින් ම රේසර් පහසක් ලබා නැත. රතු පැහැති ටී-කමිසයකුත් නිල් පැහැති ඩෙනිම් කලිසමකුත් හැඳ සිටි ඔහු තුරුණු වියෙහි අග්ගිස්සෙහි පසු වෙති යි සිතමි.

ඔහු එක් උරහිසෙක එල්ලාගෙන සිටින්නේ මා ගේ නින්ද කැඩූ බොක්ස් ගිටාරය යි. එ නිසා ම මම ඒ දෙස විමැසිල්ලෙන් බලමි. එ වැනි බොක්ස් ගිටාරයක් මා දැක්කා ම ය. ගිටාරයෙහි ලී පැසට උඩ යකඩ රාමුවක් සවි කොට තිබේ. ඒ රාමුවෙහි උඩින් ම ඇත්තේ එෆ්. එම්. මයික්‍රෆෝනයෙකි. හරියට ම ඒ යටින් මවුත්ඕගනයක් හයි කොට තිබේ. ඔහු අනෙක් උරෙහිසෙහි එල්ලාගෙන සිටින්නේ කුඩා බෆල් පෙට්ටියෙකි. මේ සියල්ලත් සමඟ මට ඔහු පෙනෙන්නේ ඒක පුද්ගල සංගීත කණ්ඩායමක් සේ ය.

දුම්රිය මඟීන් ගෙන් අවසර ගැනීමට යමක් කියා හේ තෙමේ ගායනය ඇරැඹී ය. මුලින් ම මැඳිරියේ මෙහා කෙළවරින් ඔහු පටන් ගත්තේ 'සුවඳක් දැනේ වි හදේහි ආදර ලෝකේ' ගීතයෙනි. ඒ ගීතය හමාර වූ පසු හේ තෙමේ ටිකක් ඉදිරියට ගොස් 'පියඹා යනවා මා ආකාශයේ' ගැයුවේ ය. එය ද ගයා නිම වූයේ තවත් ටිකක් ඉදිරියට ගොස් 'පෙම් ලෝකෙ පුරා ඔබ සෙව්වා සුදා' ගැයුවේ ය. අවසානයේ මැදිරියේ එහා කෙළරට ගොස් 'නැළැවෙන මව් උකුළේ' ගීතයෙන් ස්වකීය ඒක පුද්ගල ප්‍රසංගය නිමා කෙළේ ය.

ප්‍රසංගය හමාර වන තුරු ම මම සවන් දල්වා අසා සිටියෙමි. ඔහු ගේ ගායනය අතිමධුර ය; සුශික්ෂිත ය; කර්ණ රසායනීය ය; නිරායාසී ය. මවුත්ඕගනයත් බොක්ස් ගිටාරයත් ඔහු මිහිරට වාදනය කෙළේ එ බඳු උසස් ගැයුමක් අතරතුර ය. ඒ වනාහි මනා පුහුණුවෙකින් මිස කළ හැක්කේ නො වේ. අවසාන ගීතය ගයන විට ඇතැමකු අසුනට තට්ටු කෙරෙමින් ද ඉඳ හිට ගී පද මුමුණමින් ද ඔහු ගේ ගායනය හා ඒකාත්මික වන අයුරු මම බලා හුන්නෙමි. ඒ හැම දෙනා ගෙන් ම පාහේ ඔහු ගේ පසුම්බිය බර වන තරමට පඬුරු ලැබිණි.

මම සංගීතය පිළිබඳ අල්ප වූ ඥානයෙකුදු නැත්තෙක්මි. එ හෙත් ඔහු ඉතා හොඳින් ගැයූ වැයූ බව මා ගේ විශ්වාසය යි. මම මගේ කනේ හුරුව සුළුවට නො තකමි. මට ඔහු පෙනෙන්නේ ක්ලැරන්ස් විජේවර්ධන වාගේ ය. ඔහු ක්ලැරන්ස් ගේ හඬ අනුකරණය කිරීමට කිසි දු උත්සාහයක් ගත්තේ නැත. එ හෙත් ඔහු රූපකායයෙන් මතු නො ව සංගීත කායයෙන් ද ක්ලැරන්ස්ට මඳක් සමීප බවෙක් මට පෙනේ. එ වැනි දක්ෂයකුට ජීවිකාව පිණිස දුම්රියේ ගී ගයන්නට සිදු වීම කවර නම් ඛේදයෙක් ද? දුම්රිය කොටුවට ළඟා වන තුරු මා කල්පනා කෙළේ ඔය ගැන ය.

Comments

Popular posts from this blog

පුරාණ සුවර්ණ භාෂිත

සිංහල හෝඩියට ඥ ඕනෑ නම් මේ තර්ක හත බිඳින්න.

කොම්පඤ්ඤ වීදිය ද? Slave Island ද? මඤ්ඤං ද?