Tuesday, January 26, 2016

හිමිදිරි පින්නේ රජරට සැරිය

අඳුරු පරිසරයේ වේගයෙන් පසු වී යන ගස්කොළන් ගෙවල්දොරවල් දෙස රිය කවුළුවෙන් බලබලා ආ ගමන චමත්කාර ජනක අද්දැකීමක් විය. අනුරපුර බස් නැවැතුමට බසය ළඟා වූයේ පෙර වරු 2:30ට පමණ ය. එතැන් සිට තවත් කිලෝමීටර පහළොවක් දුර මා රැගෙන යන්නට හොරොව්පොතානේ බසය පැමිණෙන තුරු අඩ හෝරාවක් පමණ එහි රැඳුණෙමි. එතැන් සිට මෙහි ආවේ පවනට බඳු වේගයෙනි. රජරට සරසවි බස් නැවැතුම් පොළ වෙත මා ගෙන එන්නට ඒ බසය අඩ හෝරාවක් වත් ගත්තේ නැත.

ඇඟ කිලිපොළා යන සීතලක් දැනේ. මම කමිසයේ අත් දිග හැර-ගනිමි. මුළු ලොව ම තිමිර සළු පොරොවා-ගෙන නින්දේ පසු වන සෙයෙකි. මේ බස් නැවැතුම් පොළට ගොඩ වන විට වේලාව පෙර වරු 4:00 බව අතේ බැඳි කාලයන්ත්‍රය දැක්වී ය. දැන් මට සිදු ව ඇත්තේ හෝරා පහකට අධික කාලයක් ගත් දීර්ඝ ගමනක් අවසානයේ තවත් හෝරා පහක් බස් නැවැතුම් පොළෙක ගෙවා දමන්නට ය. ඒකත් නරක ම නැත. තනි ව ම ඉපැදී තනි ව ම මිය යන එකේ, හොරා පහක් තනි ව බස් නැවැතුම් පොළකට වී ගෙවා-දැමීම මහ කමක් ද?  


මම පාර දෙස ඔහේ බලා-ගෙන හිඳිමි. ඉඳ හිට වාහනයක් හෝ යතුරුපැදියක් හෝ පාරේ යයි. ඒ හැරුණු කොට මහ මඟ පාළු ය. වීදි ලාම්පුවේ මලානික එළිය විටෙක අඩු වෙයි; විටෙක වැඩි වෙයි. ඈතින් ගුවන්විදිලි යන්ත්‍රයෙක මොකක් දෝ සංගීත ඛණ්ඩයක් වාදනය වනු ඇසේ. එහි යම් හුරු පුරුදු බවක් ඇත ද කුමක් දැ යි නිච්චියක් නැත. රජරට සරසවියේ සහෝදරවරුන් නම් කුමක් නමුත් ලොකු වැඩෙක ය. ඔවුන් ලී ඉරන හඬත් ඇණ ගසන හඬත් කතාබස් කරන හඬත් කඩින් කඩ ඇසේ. පාරට ආ විට ඔවුන් ගෙන් එකෙක් දෙන්නෙක් මා සමඟ ද සිනා සී යති.


පාළු බස් නැවැතුම් පොළක තනි වී සීතල නිශාන්තයක් ගෙවා-ලීම සිතූ තරම් ලෙහෙසි නැත. මා මෙතැනට ගොඩවත් දී ම වලිගය වනා-ගෙන ආ බලු දණ්ඩා දැන් මා ගේ දෙපා මුල ගුළි වී නිදයි. පැමිණි මොහොතේ ඔහු මා පිළිගත්තේ පැරැණි මිතුරකු කලෙකින් දුටුවා සේ උතුරා යන ළෙන්ගතුකමෙකිනි. ඔහු ගේ මිතුරෝ දෙදෙනෙක් බස් නැවැතුමෙන් එළියේ පෙරේතයා පොළොවේ ගහලා මෙන් නිදති. මේවා බලමින් හිඳින මට අපායට ගිය ද වේලපහ යන්නැ යි කී තැනැත්තා ගේ කට තලන්නට සිතේ. ඔබ මොබ දුවන සිතත් නෙතත් මම කාලයන්ත්‍රය වෙත යොමමි. දැන් වේලාව පෙර වරු 5:00ට කිට්ටු ය.


තවත් හෝරා හතරක් ම මේ බස් නැවැතුම් පොළට වී කා දැමීම අපරාධයෙකි යි සිතේ. මිහින්තලේ පුද බිම් වැඳ පුදා-ගත හොත් නරක ද යන සිතිවිල්ල සිත තුළ පෙරැළි කරන්නට විය. හොරොව්පොතානේ බසයේ දී කුලුපග වූ වැඩිහිටියෙක් රජරට සරසවියේ සිට මිහින්තලේ පුද බිමට ඇත්තේ එක් බස් නැවැතුමක දුර බව මා හා කීවේ ය. තවත් කල් මරන්නේ නැති ව මම සිතිවිල්ල ක්‍රියාවට පෙරැළූයෙමි; මිහින්තලේ පුද බිම බලා පා එසැවීමි. මීටර කිහිපයක් යන විට කිරි පාටින් බැබැළෙන මිහින්තලේ සෑ රදු මා දෙනෙත් ගැටිණි. මම පය ඉක්මන් කෙළෙමි. යා යුතු වූයේ කිලෝමීටරයෙක පමණ දුරෙකි. මම මිහින්තලේ මහ පියගැට පෙළ පා මුල ය.


මේ පාන්දර යාමයේ උඩට නඟිම් දෝ නො නඟිම් දෝ යන දෙගිඩියාව සිතෙහි ඇති වූයේ හඳ එළියත් තැනින් තැනින් දැල්වෙන විදිලි ආලෝකයත් තුබුණ ද ගමන යා යුතු වූයේ ලොව ආදිතම අභය භූමිය මැද්දෙන් බැවිනි. මෙසේ සිතමින් සිටිය දී උඩ සෑ මළුවෙන් හේවිසි පූජාවක හඬ මතු විය. ඒ වූකලී උඩ මිනිසුන් සිටින බවට සංඥාවෙකි. මම පියගැට ගණින්නට පටන් ගත්තෙමි. මඳ දුරක් යද්දී පියගැට පෙළේ සිටි වල්ඌරෝ දෙදෙනෙක් මා දැක තැති ගෙන කැලයට පැන දිවූ හ. මිහින්තලේ යනු ලොව ආදිතම අභය භූමිය බවත් මා නිර්මාංස ආහාරිකයකු බවත් වල්ඌරෝ නො දනිති. මම බුදු ගුණ මෙනෙහි කරමින් පියමං කෙළෙමි.


පහත මළුවට ළඟා වෙත් ම පඩි පෙළ ඉස්මත්තේ සිටි බලු දණ්ඩෙක් බිරුම් තෙද පාන්නට විය. මම ඔහු නො තකා ඉහළ නැංගෙමි. ඔහු පසුපසින් සිනා සී-ගෙන මතු වූයේ පොලිස් රාලහාමි කෙනෙකි. “මං ඒත් බැලුවා, මොකද මෙයා මේ බුරන්නෙ කියලා” හෙතෙමේ කීවේ ය. “උදෙන් ම එන්න හිතුණා” මම කීවෙමි. “ඒක හොඳා” කියමින් රාලහාමි බලු දණ්ඩා තමා වෙත කැඳවා-ගත්තේ ය. මම දෙ වැනි පියගැට පේළියත් නැංගෙමි. මළුවට පා තබත් ම අමුතු සිසිලසක් දැනිණි. ගමේ පන්සලට වත් මෙතරම් උදයෙන් ගොස් නැති මට මළුවට පා තැබූ සැණින් දැනුණේ මහත් සහනයෙකි.


හේවිසි කණ්ඩායම ඒ වන විට ශබ්ද පූජා පවත්වමින් සිටියේ බෝ මළුවේ ය. මම ඔවුනට සිනහවකින් සංග්‍රහ කොට සෑ මළුවට නැඟුණෙමි. සෑ මළුවේ හමන සීත සමීරය ගත වූ ඩා බිඳු සැණෙන් නිවා-ලයි. සුදෝ සුදු පැහැයෙන් බබළන මිහින්තලේ සෑ රදු වටා තෙවරක් පැදකුණු කොට දොහොත් නඟා වැන්දෙමි. හෝරාවක් පමණ අවට සිරි නරඹමින් ගිමන් හළෙමි. දැන් වටෙන් ගොඩෙන් බිං එළිය වැටෙන්නට පටන් ගෙන ඇත. මිහින්තලේ සෑ මළුවට හිරු උදාව පෙනෙන්නේ ඈත කඳු හිමවු අතරින් රක්ත වර්ණ ගිනි බෝලයක් මතු වන්නා සේ ය. ඒ සැබැවින් ම මනස්කාන්ත දර්ශනයෙකි.

තවත් ටික වේලාවක් මෙහි රැඳී සිට ආපු කාරිය සඳහා පිටත් ව යමි.


No comments:

Post a Comment