ආනන්ද සමරකෝන් 1940 දී ‘නමෝ නමෝ මාතා’ යනුවෙන්
රචනා කළ සරල ගීය ප්‍රථමයෙන් ගුවන් විදිලියේ දී තැටිගත කරන ලද්දේ 1946 දී වී. පී.
ලීලාවතී සමඟ ගැයූ යුග ගීයක් ලෙසිනි. 1951ක් වූ නොවැම්බර 22 වැනි දා සිරි ලක ජාතික
ගීය වසයෙන් මේ නිර්මාණය තෝරා-ගන්නා ලද නමුදු එයින් පසු ඇති වූයේ මහත් කල-බගෑනියෙකි.
ගීයේ මුලට යෙදී තුබුණු න’යන්න අපායාක්ෂරයක් වීම ද මුලට යෙදී ඇති ජ’ගණය අසුබ ගණයක්
වීම ද රටට අවැඩ දායක යැ යි සැලැකූ පඬිවරු සමරකෝන් ගේ විරෝධය නො තකා ගීයේ මුලට ‘ශ්‍රී
ලංකා මාතා’ යන කොටස එක් කළහ. මෙයින් ඉමහත් කම්පාවට පත් වූ සමරකෝන් 1962ක් වූ අප්‍රේල්
5 වැනි දා නිඳි පෙති සරණ ගොස් සිය දිවි තොර කැරැ-ගත්තේ ය. සිංහළ ජාතික ගීය පිටුපස
ඇති ශෝකාන්තය මෙය යි. මේ විමර්ශනයේ අරමුණ අපායාක්ෂර හා ගණ පිහිටීම් ගැන කතා කිරීම
නො ව, මෙරට ජාතික ගීයෙහි ගුණාත්මක භාවය පිරික්සා-බැලීම යි.
සැබැවින් ම ‘ශ්‍රී ලංකා මාතා’ යනු මෙරට ජාතික ගීය ලෙස ගත යුතු උසස් නිර්මාණයක් නො වේ. මුල, මැද, අග මනා සේ නො ගැළැපීමත් (Poor Coherence), අන්තර්ගතය එතරම් සාරවත් නො වීමත්, සෞන්දර්යාත්මක රසයෙන් හීන වීමත් එහි දුර්වලතා ලෙස අපි දකුමු. ඊට වඩා සාර්ථක දේශාභිමානී ගී කොතෙකුත් මෙරට ඇත.
අපේ ජාතික ගීය ඇරැඹෙන්නේ සිරි ලක් මවුන් වන්දනා
කිරීමෙනි.
“ශ්‍රී ලංකා මාතා
අප ශ්‍රී
ලංකා
නමෝ නමෝ
නමෝ නමෝ මාතා....”
ආරම්භයේ දී ම ලක් මවුන් වන්දනා කොට ගයන්නන් ගේ සිත්හි බැති පෙම් ඉපැදැවීම යහපති. මන්ද යත් දෙස, බස, රැස කෙරෙහි බැතිබර හැඟුම් ඇත්තකු ගෙන් විනා අනෙකකු ගෙන් ඊට මෙහෙයක් පැතීම විහිළුවක් වන බැවිනි. ‘ශ්‍රී ලංකා මාතා’ යනු ප්‍රබල ව බැති සෙනේ දල්වන රූපකයෙකි (Metaphor). එහෙත් ගීයේ මී ළඟට එන පද කිහිපය නම් දොයිතුවක් වටින්නේ නැත.
“සුන්දර සිරි බරිනී අතිසෝබමාන ලංකා
ධාන්‍ය
ධනය නෙක මල් පලතුරු
පිරි ජය
භූමිය රම්‍යා....”
මෙය සාහිත්යික අගයෙන් තොර හුදු වාර්තාවෙකි. රට සුන්දර ලු; සිරියෙන් බර ලු; අතිසෝබමාන ලු; රම්‍ය ලු. මෙම වදන් කිහිපයෙන් ම කියැවෙන්නේ එක ම අරුතක් නො වේ ද? මෙය පුනරුක්ත දෝෂයෙකි. අනෙක් අතට මේවා අසාහිත්යික යෙදුම් යැ. රටෙහි සෞන්දර්යය වර්ණනා කළ යුත්තේ එහි සොබා සුන්දරත්වය කෙටියෙන් හෝ විස්තරාත්මක ව දැක්වීමෙන් විනා ‘සුන්දර’ යන අරුත දෙන වදන් ගොඩ ගැසීමෙන් නො වේ. ධාන්‍ය-ධනය ඇති බව ද අමු-අමුවේ ම කියා ඇතත්, ඒ ධාන්‍ය-ධනය මොනවා දැ යි කිසි තැනෙක නො කියැවේ. මල් පලතුරු ඇති බව ද විශේෂයෙන් දක්වා තිබේ; මෙය ජාතික ගීයේ සඳහන් කළ යුතු තරම් වැදැගත් කරුණෙක් ද? යම් රටක් ‘ජය භූමියක්’ වන්නේ මේ කියන පරිදි සෝබමාන වීම හෝ මල් පලතුරු තිබීම හෝ නිසා ද? යම් දේශයක් ‘ජය භූමියක්’ වන්නේ සූර වීර දරු පරපුරක් ඒ මාතාවට හිමි නම් ය; ඒ දරුවන් දිවි හිමියෙන් සටන් කොට මවු බිමට ජය ගෙන-දී ඇත් නම් ය. රාවණ, දුටු ගැමුණු, පැරැකුම්බා, විජයබා වැනි පොරණ හෙළ විරුවෝ ද පුරන් අප්පු, කැප්පෙටිපොළ, සරදියෙල් වැන්නෝ ද ධර්මපාලතුමා, කුමාරතුංග මුනිදාස, ඇස්. මහින්ද හිමි, මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමි වැනි නූතන විරුවෝ ද කොතෙකුත් මෙපින්බිමෙහි වූ හ. ඒ එකකු ගැන වත් මේ ජාතික ගීයේ සඳහන් නො වේ. පර සතුරන් මැඬ මවු බිම ජය භූමියක් කළාහු ඒ විරුවෝ ය. ‘ළංකා ළංකා පෙම්බර ළංකා’ ගීය රචනා කළ අරීසෙන් අහුබුදු කොතරම් අගේට මේ විරුවන් සිහි පත් කරනවා දැ යි බලන්න.
“අප හට සැප සිරි සෙත සදනා - ජීවනයේ මාතා
පිළිගනු
මැන අප භක්ති පූජා
නමෝ නමෝ
මාතා....”
මාතෘත්වයේ ලා අප ගෞරවයෙන් මෙරටට සලකන්නේ සිංහළ ජාතිය ජනිත වූ භූමිය වූ බැවිනි. එහෙත් රට වැසි අප හට ‘සැප සිරි සෙත’ සැලැසීමට මාතෘ භූමියට හැකියාවෙක් තිබේ ද? මාතෘ භූමිය යනු හුදෙක් ම අජීවී භූමි භාගයෙකි. ජාතියට ‘සැප සිරි සෙත’ සැලැසීමට මාතෘ භූමියට කිසි දු හැකියාවක් නැත. යමෙක් මාතෘ භූමියෙන් ‘සැප සිරි සෙත’ බලාපොරොත්තු වෙත් නම් හේ කිසිවක් කළ නොහැකි නිකමෙකි; පිස්සෙකි. විය යුත්තේ මේ කියමනෙහි නොපිට යි. යුහුසුලු ව වෙහෙස ව අනලස ව වැඩ කැර මාතෘ භූමියට ‘සැප සිරි සෙත’ හෙවත් සමෘද්ධිය හා සෞභාග්‍යය උදා කිරීම අපේ වගකීම යි; රට වැසියන් ගේ වගකීම යි. කරුණාරත්න අබේසේකර නම් ‘දිනු මව් බිම සව් සිරියෙන් සරසව් - පිබිදෙව්! පිබිදෙව්! සැරැසෙව්!’ යනුවෙන් මේ වගකීම මනා සේ ජාතියට පැහැදිලි කෙළේ ය. අපේ ජාතික ගීය මේ සත්තාව ද පටලා-ගෙන ඇත.
කෙසේ වතුදු මේ අතර ඉතා අගනා කියමනක් ද අන්තර්ගත ව තිබේ. එනම් ‘ජීවනයේ මාතා’ යනු යි. අප මින් පෙර සඳහන් කළ සියල් විරුවන් යුද වැද සතුරන් නසා මවු බිම රැකැ-ගත්තේ තම ජීවය ලෙස මවු බිම සැලැකූ හෙයිනි. වත්මන් සිංහළයාට නැත්තේ ද මේ උතුම් ආකල්පය යි. ‘ජීවනයේ මාතා’ යන සංකල්පයට සමරකෝ මීට වඩා ඉඩක් දිය යුතු ව තිබිණි. එහෙත් රචකයා සිදු කැර තිබෙන්නේ ගීයේ තවත් තැනෙක ‘අප ජීවන ඔබ වේ’ යනුවෙන් සඳහන් කොට, තවත් පුනරුක්තියක් ඇති කැරැ-ලා නිහඬ වීම යි.
විශේෂයෙන් සඳහන් කළ යුතු අපූරු පද යෝජනයක් නම් ජාතික ගීයෙහි ඇත. එනම්, ‘නමෝ නමෝ මාතා’ යන්න කිහිප තැනෙක ම ඖචිත්‍ය පූර්වක ව යොදා තිබීම යි. ගයන්නා ගේ සිතෙහි උපදිනා භක්ති රසය තීව්‍ර ව වර්ධනය කිරීමට මෙම පද පුනර්යෝජනය (Repetition) හේතු වේ. එහෙත් ඒ භක්තිය හා මුසු වන්නට තරම් අභිමානනීය හැඟුම් දැනැවීමට ගීය අසමත් ව තිබීම ඛේදයෙකි. එබැවින් භක්ති රසයෙන් ඔබ්බෙහි වීර රසයක් කරා ජන සිත මෙහෙයීමට ජාතික ගීය නොපොහොසත් යැ. අර්ථයෙන් ද දුප්පත් බැවින් ජාතිය ඥානනය කිරීමක් ද මින් සිදු නො වේ මැ යි.
මේ ගීය ඉදිරිපත් වන්නේ මාතෘ භූමිය අමතා කැරෙන ආමන්ත්‍රණයක් (Poetic Address) විලසිනි. එම ප්‍රකාශන ශෛලිය (Style of Expression) ජාතික ගීයකට සුදුසු වුව ද මාතෘ භූමිය අමතා කියන බසින් වැඩියක් ම නන් දෙඩුම් සේ ය. මීළඟට ද උසස් අදහස් හා කැටි වුණු විකාර සංකල්ප කිහිපයක් ඉදිරි පත් වේ. මේ බලන්න:
“ඔබ වේ අප විද්‍යා - ඔබ ම ය අප සත්‍යා
ඔබ වේ අප
ශක්තී - අප හද තුළ භක්තී
ඔබ අප
ආලෝකේ - අප ගේ අනුප්‍රාණේ
ඔබ අප
ජීවන වේ - අප මුක්තිය ඔබ වේ...”
බුදු සමිඳුන් ‘විද්‍යාව’ යි කීවේ කෙලෙස් නැමැති අවිද්‍යාව දුරු කළ විටැ අවබෝධ වන ‘නිර්වාණයට’ යි. ‘විජ්ජා උදපාදී’ යනුවෙන් විද්‍යාව ඉපැදුණු බව ‘දම්සක් පැවැතුම්’ සුතුරෙහි සඳහන් වන්නේ නිවන ගැන යි. බුදුනුවකු දන්නා උසස්තම සැපත ද නිර්වාණය යි. ඇතැම් විටැ ලංකා ධරණී තලයේ වාසය කිරීම නිවන මෙන් සැපයක් යැ යි අදහස් කිරීමට රචකයාණන් ‘ඔබ වේ අප විද්‍යා‘ යනුවෙන් යොදන්නට ඇත. උසස් සංකල්පනාවෙකි. මේ අදහස ම මීට වඩා පැහැදිලි හා ප්‍රබල ලෙස කුමාරතුංග ලියූ ‘පුබුදුව: ඉදිරියට මැ යවු හෙළයෙනි’ නම් ගීයෙහි ‘නුවණත් හෙළ - නිවනත් හෙළ’ යනුවෙන් කියා තිබේ. ඇතැම් විට සමරකෝන් මේ සංකල්පනාවේ එළියක් ලබන්නට ඇති.
එහෙත් ‘ඔබ ම ය අප සත්‍යා’ යනු හුදු භක්ති ප්‍රකාශන ආලාපයක් විනා අරුතක් ඇත්තක් නො වේ. මවු බිම හා සත්‍යය අතර ඇත්තේ කිනම් සබඳකමෙක් ද? මේවා හුදු වචන මාට්ටු පමණි. ‘ඔබ වේ අප ශක්තී’ යනු ද ඊට නොදෙවැනි තවත් විකාර කියුමෙකි. මවු බිම එහි වැසියනට වාසය සලසනවා තමා. එහෙත් මවු බිම ඔවුනට ශක්තියක් වන්නේ කෙසේ ද? මවු බිමට ඇති එක ම ශක්තිය නම් දස්කම් විස්කම් දක්වන නොවහල්, අදීන, සුජාත රට වැසියෝ යි. රට පෙරට ගෙන යන්නෝ ඔහු යි; රට සුරකින්නෝ ඔහු යි. එබැවින් මාතෘ භූමියට ශක්තියක් විය යුත්තෝ අපි යි; මාතෘ භූමියට අභිමානයක් විය යුත්තෝ අපි යි. ඒ විනා මවු බිමෙන් ශක්තියක් පැතීම මහා කොලොප්පමෙකි. රචකයා මෙහි දක්වා ඇත්තේ විය යුත්තෙහි කණපිට නො වේ ද? ‘පිළිගනු මැන අප භක්තී පූජා’ යි කියා කට ගන්නටත් පෙර ‘අප හද තුළ භක්තී’ යනුවෙන් එක ම අදහස නැවැතැ පට්ටා ගසයි. තවත් පුනරුක්ත දෝෂයෙකි. කිය යුතු ම අදහස් බොහෝ මඟ හැර එක ම දේ යළි යළිත් කියන්නේ කවර බංකොලොත්කමක් නිසා ද? ‘ඔබ අප ආලෝකේ’ ගැනත් ‘අප ගේ අනුප්‍රාණේ’ ගැනත් කියන්නට ඇත්තේ ‘ඔබ වේ අප ශක්තී’ ගැන කියූ ටික ම ය. තවත් නොපිට පෙරැළීම් ය. රටකට ශක්තියත්, ආලෝකයත්, අනුප්‍රාණයත් එහි වෙසෙන සුජාත වැසියන් මිස අන් කවුරු ද? ‘ඔබ අප ජීවන වේ’ යනු මෙතරම් සැකෙවින් කිව යුත්තක් නො වන බව අපි ඉහත කීමු. ‘අප මුක්තිය ඔබ වේ’ යන්නෙන් කියැවෙන්නේ ද අමුතු අදහසෙකි. රටෙක ‘මුක්තිය’ එහි වෙසෙන ප්‍රගතිශීලී ජනයා බවත් රටෙකින් ජනයාට ‘මුක්තියක්’ නො ලැබෙන බවත් ඇස් හමුවේ පෙනෙන සත්‍යය යි. සමරකෝන් ගේ අනෙකුත් උසස් ප්‍රබන්ධ හා සාපේක්ෂ ව ගත් කල මෙය අවසිහියෙන් ලියන ලද්දක් දැ යි සාධාරණ සැකයක් පහළ වීම වැළැකිය නො හේ.
ඉහත උපුටනයේ කී පළෙක සමරකෝන් වියරණ මරා තිබේ ද? ‘ඔබ වේ අප විද්‍යා /ඔබ වේ අප ශක්තී / ඔබ අප ජීවන වේ / අප මුක්තිය ඔබ වේ’ යන හැම තැනැ ‘ඔබ වේ’ යනුවෙන් උක්ත-ආඛ්‍යාත සම්බන්ධය ගළපා තිබේ. ‘ඔබ’ යනු ප්‍රථම පුරුෂ නිත්‍ය බහුවචන සර්වනාමයෙකි. ඊට තැබෙන ආඛ්‍යාතය ද ප්‍රථම පුරුෂ බහුවචන වීම අනිවාර්ය යි. එහෙත් සමරකෝන් ආඛ්‍යාතය තබා ඇත්තේ ප්‍රථම පුරුෂ ඒකවචනයෙනි. එය ‘ඔබ වෙත්’ යනුවෙන් තැබී නම් දොස මැකේ; විරිතත් රැකේ. මේ නොතැකුමේ පල ද? නොදැනුමේ පල ද? අපේ ජාතික ගීය මූලික වියරණ ද මරන එකෙකි. ජාතික ගීයේ වියරණයත් මෙහෙම නම් රටැවැසියන් ගේ භාෂා ඥානය හා භාෂා ප්‍රේමය ගැන කියනු ම කවරේ ද? ගන්නට සංසාරයක් නැත.
පළමු වැනි ජාතික නිදහස් සමරුවේ දී ඔසවන ලද පුරාණ සිංහල ධ්වජය හෙවත් සිංහ කොඩිය |
“නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා
ඥාන
වීර්ය වඩවමින රැගෙන යනු මැන ජය භූමි කරා...”
නොපිට පෙරැළීම්හි කූටප්‍රාප්තිය (Climax) ලෙස මෙම දෙපාදය හැඳින්විය හැකි ය. සමරකෝන් සියලු ‘ඥාන වීර්ය’ පතන්නේ මවු බිමෙනි. ඒ විනා කිසිවකු තම නැණ දිරි වඩවා-ගෙන මාතෘ භූමියට සේවා කළ යුතු බව හේ කිසි තැනෙක නො කියයි. මෙවන් ගීයෙකින් ජාතියේ සිතුම් පුබුදුවක් අපේක්ෂා කිරීම මහ විහිළුවෙකි. නව ජීවන දෙමින් නිතින තමන් පුබුදු කැර ජය භූමිය කරා රැගෙන යන ලෙස මාතෘ භූමියෙන් අයදින සිංහළයා අන්ත දීනයෙකි; පල් මෝඩයෙකි. තමන් ගේ වගකීම මාතෘ භූමිය පිටැ පටවා උඩ බලා-ගෙන මුව අයා සිටින නිකමෙකි. ධර්මපාලතුමා ගේ වදනින් කියතොත් ‘ගොන් තඩියෙකි.’ නව ජීවනයෙන් පිබිදී ඥාන, වීර්ය වඩවා-ගෙන සංවර්ධනයේ හා සමෘද්ධියේ ජය භූමි කරා මවු බිම රැගෙන යා යුත්තෝ අපි වෙමු. එය කළ හැක්කේ අපට පමණි; මවු බිමට නො වේ. කෙසේ වෙතත් මේ පාදයේ යම් උද්යෝගකර අනුප්‍රාසයක් (Alliteration) නම් දැනැවේ. අර්ථයෙන් තොර ශබ්ද රසක් වන එයින් කිසි වැඩෙක් නම් නැත. ජය භූමි කරා අප රැගෙන යන ලෙස මවු බිමෙන් මෙතෙක් වේලා ඉල්ලා සිටි සමරකෝන් හිටි අඩියේ ම කොහි දෝ යන්නට අපට කතා කරයි:
“එක මවක ගෙ දරු කැල බැවිනා
යමු යමු
වී නොපමා
ප්‍රේම
වඩා සම භේද දුරැර දා
නමෝ නමෝ
මාතා”
මේ වන තුරු සියල් සැප සම්පත් ඉල්ලා මාතෘ භූමියට කන්නලවු කොට අවසානයේ ‘යමු යමු වී නොපමා’ යි ඇරියුමෙකි. විහිළුව නම් යා යුත්තේ කොහි දැ යි නොකීම යැ. මේ විසුළුව එක අතෙකින් ඉතා ම උත්ප්‍රාසවත් (Ironical) ය. නිදහස ලද දා පටන් මේ දක්වා ම අප ජාතියක් වසයෙන් ඉබාගාතේ ගියා මිසක් හරි හමන් ඉදිරි ගමනක් ගියේ නැත! එක මවක ගේ දරු කැලක් මෙන් සිතා ප්‍රේම වඩා සැම භේද දුරැර දැමීමට කවුරුනුත් තව පමා විය යුතු නැති බව සැබෑ ය. එහෙත් යා යුතු තැන නො දැනැ කළුවා මාරපනේ ගිය අයුරින් දැයකට පෙර ගමන් යා නොහැකි බව අප වටහා-ගත යතු ය.
මේ ගීයෙහි ඇති තවත් දුර්වලතාවක් නම් ගුරු මාත්‍රා පුනර්යෝජනය යි. ගීතයේ හැම පාදයෙක මැ කිහිප තැනෙක යෙදෙන ගුරු මාත්‍රා නිසා ජාතික ගීය දරු නැළැවිල්ල රිද්මය ගෙන තිබේ. ජාතික ගීය වැනි ශ්‍රාවක සිත්හි අභිමානයක් ජනනය කළ යුතු ගීයෙක තිබියැ යුත්තේ ලඝු මාත්‍රා පුනර්යෝජනය කිරීමෙන් ඇති වන ද්‍රැත රිද්මය යි.
සිංහළ ජාතික ගීය වෙනස් විය යුතු බව අප කියන්නේ මන් දැ යි මෙය කියැවූ ඔබට පහදිලි ඇතැ යි සිතමු. දැන් වත් රජය විසින් කළ යුතු ව තිබෙන්නේ මෙම අංගවිකල ජාතික ගීය බැහැරැ-ලා හරි හමන් සිංහළ ජාතික ගීයක් නිර්මාණය කරවා-ගැනීම යි. මේ ගීයේ කියැවෙන විකාර ටික උදේහවා ගැයුවා ම ඔක්කොම කණපිට තමා! රටෙහි සව් සිරිය, සෞභාග්‍යය, ස්වාභාවික සම්පත්, සශ්‍රීක භාවය සේ ම හෙළ බොදු උරුමය ගැන ද උත්තුංග හෙළ බස ගැන ද දෙස-බස-රැස සුරැකි විරුවන් ගැන ද අපේ අලුත් ජාතික ගීයේ සඳහන් විය යුත්තේ ය; ජාතියේ චින්තනය අභිමානයෙන් හා ප්‍රෞඪත්වයෙන් පෝෂණය කොට දේශ වාත්සල්‍යය හා අදීනත්වය සිත්සතන්හි රෝපණය කිරීමට ඒ ජාතික ගීය සුසමත් විය යුත්තේ ය. රට කරවන ඇත්තන් දැන් වත් මේ බව වටහා-ගන්නේ නම් මැනැවි.
___________________________________________________________________
පසු සටහන:
සිංහල ජාතික ගීය පිළිබඳ මහගම සේකරයන් ගේ විවේචනය:
චිත්‍රපටිවල දේශානුරාගී ගීත ගැන කියනකොට අපට ආදර්ශයට ගන්න සිදු වෙලා තියනවා ජාතික ගීය. නමුත් අපේ ජාතික ගීයෙත් දුර්වලකම් කීපයක් තියනවා කියලයි මට හිතෙන්නෙ. ජාතික ගීය රචනාකරන අවධිය වෙනකොට ආනන්ද සමරකොන්ගේ රචනා ශක්තිය ක්‍රමයෙන් දුර්වල වී ඇති බවයි පෙනෙන්නෙ. මෙබඳු අඩුපාඩු දක්නට ලැඛෙන්නේ ඒ නිසයි. අප සිත් තුළමානයක් හෝ වීර හැඟීමක් ඇති කිරීමට මේ ගීතය ශක්තිමත් මදි. ජාතික ගීය අපිට ඇහෙන්නේ හරියට යාච්ඤාවක් වගෙයි. සමහරවිට ගීතයට යොදා ඇති තනුව මීට හේතුවක් වන්න පුලූවන්. ගීතයේ ගුරු අකුරු රාශීයක් තිබීමත් මීට හේතුවක්. ගුරු අකුරු වැඩි උනා ම මොන රචනයක් උනත් අපට ඇහෙන්නේ නැළවිල්ලක් වගෙයි. පදමාලාව දෙස බලනකොට නම් ඇත්ත වශයෙන් ම මෙය ආයාචනයක් තමයි.
ශ්‍රී ලංකා මාතා... අප ශ්‍රී... ලංකා
නමෝ නමෝ නමෝ නමෝ මාතා...
සුන්දර සිරි බරිනි සුරැදි අති සෝබමාන ලංකා...
ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි
ජය භූමිය රම්‍යා
අප හට සැප සිරි සෙත සදනා...
ජීවනයේ මාතා...
පිළිගනු මැන අප භකිතී පූජා
නමෝ නමෝ මාතා...
අප ශ්‍රී... ලංකා... නමෝ නමෝ නමෝ නමෝ මාතා....
ඔබවේ අප විද්‍යා... ඔබවේ අප සත්‍යා
ඔබවේ අප ශක්තී... අප හද තුල භක්තී...
ඔබ අප ආලෝකේ... අපගේ අනුප්‍රානේ
අප ජීවන වේ... අප මුක්තිය ඔබවේ
නව ජීවන දෙමිනේ
නිතින අප පුබුදු කරන් මාතා...
ඥාන වීර්ය වඩවමින රැගෙන යනු මැන
ජය භූමි කරා...
එක මවකගෙ දරු කැල බැවිනා
යමු යමු වී නොපමා...
ප්‍රේම වඩා සැම භේද දුරැ ල ලා...
නමෝ නමෝ මාතා...
අප ශ්‍රී... ලංකා... නමෝ නමෝ නමෝ නමෝ මාතා...
අප ශ්‍රී... ලංකා... නමෝ නමෝ නමෝ නමෝ මාතා...
ගීතයේ මුල් පද වලින් රචකයා ලංකාවේ ස්වභාව සෞන්දර්ය වර්ණනා කරනවා. ලංකාව සියලූ යස ඉසුරින් පිරි ජය භූමියක් කියනවා. ඊළඟ පදවලින් මාතාවකට වගේ ආමන්ත්‍රණය කරලා මෙහෙම කියනවා. අපට සිරිසෙත ගෙන එන්නේ ඔබයි. අපේ විද්‍යාවත් අපේ සත්‍යයත් ඔබයි. අපේ ශක්තියත් අපේ භක්තියත් ඔබයි. මේ කීමෙන් පැහැදිලිවන්නේ කුමක්ද? ලංකා මාතාව සියලූ දෙයින් සම්පූර්ණ බවයි. ඒ එක්කම අදහස් වෙනවා කිසිම දෙයක් අපට නැති බව. .ඔබ වේ අප ශක්තී. කියන කියමනෙන් අදහස් වෙන්නේ .අපට කිසිම ශක්තියක් නෑ අපට ඇති ශක්තිය ඔබ පමණයි. යන්නයි. ඒ වගේ .ඔබ අප ජීවය වේ අප මුක්තිය ඔබවේ. යන්නෙන් අදහස් වන්නේ .අපට නිදහසක් නෑ අපට ජීවයක් නෑ. කියන එකයි. ඒ නිසා ලංකා මාතාවට මොකක් කරන්න කියලද රචකයා කියන්නේ? .නව ජීවන දෙමින් නිතින අප පුබුදු කරන්න. කියලා. අපට ජීවයක් නෑ එහෙමත් නැත්නම් අපගේ ජීවය අඩපණ වෙලා. අපට ජීවනයක් දෙන ලෙස ඉල්ලා සිටින්නේ ඒ නිසා විය යුතුයි. නිතින අපව පුබුදු කරන්න කියන්නේ ඇයි? නිතර අප නිදා වැටෙන නිසාද? ඥාණ වීර්ය වඩන්නට කියන්නේ අපේ ඥාණ වීර්ය දෙක අඩු නිසාද? මේ අඩුපාඩු සකස් කර අපව ජය භූමිය කරා ගෙන යන හැටියට රචකයා ලංකා මාතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ වගේ පිරිසක් ජයභූමියක් කරා ගෙනයන්නට කාටවත් පුලූවන් කමක් නෑ. ඇරත් මේ ජයභූමිය මොකක්ද කියන එකයි ගැටලූව. ලංකාව ජයභූමිය හැටියට රචකයා මුලින් හැඳින්නුවා. එහෙනම් අපි ඉන්නේ ඒ ජය භූමියේ තමයි. දැන් ලංකාවටම කියනවා අපව ජයභූමියට අරගෙන යන්න කියලා. කොහෙද ඔය දෙවනි ජයභූමිය තියෙන්නේ? ඒකයි ඊලඟට ඇතිවන ප්‍රශ්ණය.
අන්තිම පද දෙකේදී ලංකා මාතාව ගැන කිසිම කල්පනාවක් රචකයාට නැතිව යනවා. ඒ නිසා .එක මවකගේ දරුකැළ බැවිනා යමු යමු. කියලා වෙනම ක්‍රමයකට පිරිසක් සංවිධානය කරන්න පටන් ගන්නවා. මෙසේ ගීතියේ ආකෘතියේ ඇති අපිළිවෙල එක දුර්වලකමක්. ලංකා මාතවක් ලෙස සලකා ඈට ආමන්ත්‍රණය කරන අන්දමට ගීය ගෙනාව නම් මුලසිට අග දක්වා එය එසේ තිබිය යුතුයි. රචකයා මුලදී ලංකාව මාතාවක් හැටියට සලකා එය නමස්කාර කරනවා. නමුත් ඊලඟට මාතාවක් නෙමේ ජයභූමියක්. ඊලඟට නැවතත් මාතාවක්. ඊට පස්සේ තමා මේ ආමන්ත්‍රණය කරන්නේ ලංකා මාතාවට බව ඔහු අමතක කරනවා. කරලා පිරිස දිහාවට හැරිලා පිරිස ආමන්ත්‍රණය කරලා වෙනම සාකච්ඡාවක් පටන් ගන්නවා. .වාද භේද අමතක කරලා යමු යමු. කියලා. මෙතනදී අපි අතරේ තියන වාද බේදත් මතක් කිරීම සුදුසු නැහැ. අපේ තවත් දුර්වල කමක් මතක් කරදීමක් ඒක. වාද භේද දුරලමු කිවාට ඒවා දුරුවෙන්නේ නෑ. වාද භේද අමතක වෙලා තිබ්බ නම් ඒවා නැවත මතක් කර දීමක් ඒක . කවියෙදී එක්සත් වෙමු හා වාද භේද දුරලමු යන වාක්‍ය දෙකන් ප්‍රකාශවන්නේ එකම හැඟීම නෙමෙයි.
ගීතයේ ඇති ලොකුම දුර්වලකම එහි ගැබ්ව ඇති අදහසයි. මුලින් කිව්වා වගේ මේ ගීතය පිහිට පතා කරන ආයාචනයක්. ගීතයෙන් කියවෙන්නේ ජාතියක් වශයෙන් අප දුර්වල බවයි. අපට ඇති එකම පිහිට ලංකා මාතාව පමණයි. මේ නිසා අප ලංකා මාතාවගෙන් ඉල්ලා සිටිනවා අපේ දුර්වලකම් මකා දමලා දියුණුව කරා ගෙනියන හැටියට. මෙය අපේ දුර්වලකම් අපම පිළිගැනීමක්. ජාතිය ගැන අභිමානයක් හෝ විරත්වයක් අප තුල ඇති කිරීමට එසේ කිමෙන් පුලූවන් කමක් නැහැ.
දේශාණුරාගී ගියකදී අපේ පැරණි වීරයින් කළ පහපන්කම් අපට වර්ණනා කරන්න පුලූවන්. අපට ඇති සංස්කෘතික උරුමයේ විටිනාකම කියන්න පුලූවන්. අපේ රටේ මුතු මැණික් ගැන ඇතුන් ගැන ස්වභාව සෞන්දර්ය ගැන මතක් කර දෙන්න පුලූවන්.
ඇත්ත වශයෙන්ම ජාතික ගීයෙන් ප්‍රකාශ විය යුත්තේ එයින් කියවෙන අදහසට විරුද්ධ අදහසයි කියලා මට හිතෙනවා. එනම් ලංකා මාතාව ආරක්ෂා කිරීමට ඇය සෞභාග්‍ය කරා ගෙන යාමට ඇය වෙනුවෙන් ජීවිතය වුවත් පූජා කිරීමට අපට ශක්තිය ඇති බවයි. ඇගෙන් පිහිට ඉල්ලා ආයාචනා කිරීම නෙමෙයි.
උපුටා ගැනීම : 'මහගම සේකරගේ නොපළ ගීත'
සංස්කරණය: රංජිත් අමරකීර්ති පලිහපිටිය
ප්‍රකාශනය: ප්‍රදීප ප්‍රකාශකයෝ
වර්ෂය: 1984.
(මෙහි පිටු අංක 1 සිට 55 දක්වා මහගම සේකරගේ දේශනයක් පෙර වදන ලෙස යොදා ඇති අතර මේ එයින් උපුටා ගත් එක් කොටසකි.)
No comments:
Post a Comment