Thursday, August 11, 2016

මනමේ කුමරු මිය ගොස් බොහෝ කලකට පසු විජය නන්දසිරි ද මිය ගියේ ය

අභාවප්‍රාප්ත රංගන ශිල්පී විජය නන්දසිරි ගැන අදහස් දක්වමින් අගමැතිතුමා කියා ඇත්තේ චරිතාංග රංගන ශිල්පියකු වී නම් විජයට බොහෝ දුර යා හැකි ව තුබුණු බවෙකි. විසිහත් වසරක් මනමේ කුමාරයාට රඟපෑ විජය නන්දසිරි ගැන අගමැතිතුමා දන්නා තරම ඒ ප්‍රකාශයෙන් හෙළි වේ. එහෙත් එය අගමැතිතුමා ගේ තවත් පිස්සු කතාවක් ලෙස ඉඳුරා බැහැර කිරීම යෝග්‍ය නො වේ. විජය නන්දසිරි නම් චරිතාංග රංගන ශිල්පියාට සිදු වූයේ කුමක් දැ යි කල්පනා කැර බැලීමට ඒ ප්‍රකාශය හොඳ නිමිත්තක් කැර-ගත හැකි ය. මේ සටහනේ සිරස ලෙස තබා ඇත්තේ විජය නන්දසිරිට වූ සන්තෑසිය එක්තරා විචාරකයකු දුටු අන්දම යි.
විජය නන්දසිරිට පූර්වකාලීන ප්‍රවීණයකු වූ ජෝ අබේවික්‍රම ස්වකීය රංගන ජීවිතයේ මුලින් මුලින් රඟපෑවේ විකට චරිත ය. ‘අල්ලපු ගෙදර’, ‘බඩුත් එක්ක හොරු’, ‘සාරවිට’, ‘කොළොඹ සන්නිය’, ‘රන්මුතු දූව’, ‘තුෂාරා’ වැනි බොහෝ චිත්‍රපට ඊට නිදසුන් ලෙස සඳහන් කළ හැකි ය. එහෙත් හාස්‍යෝත්පාදක රංගනයට සීමා නො වූ හෙතෙමේ ‘වැලිකතරේ’ ගෝරිං මුදලාලි, ‘තුන්මංහන්දියේ’ අබිලිං මාමා, ‘මලට නො එන බඹරුහි’ හාමු මහත්තයා වැනි චරිත ඔස්සේ චරිතාංග රංගනයට පිවිස ස්වකීය ජීවිතයේ අවසාන භාගය ‘පුරහඳ කළුවර’ වැනි විශිෂ්ට ගණයේ සිනමා කෘති සඳහා කැප කෙළේ ය.
විජය නන්දසිරි
එහෙත් විජය නන්දසිරි කෙළේ එහි අත්‍යන්ත ප්‍රතිපක්ෂය යි. එදිරිවීර සරච්චන්ද්‍ර, අමරදාස ගුණවර්ධන, ලූෂන් බුලත්සිංහල ආදීන් ගේ විශිෂ්ට ගණයේ වේදිකා නාට්‍යවල චරිතාංග නිරූපණයෙන් මනා පරිචයක් ලැබ රංගනයට පිවිසි හෙතෙමේ ස්වකීය ජීවිතයේ අවසාන භාගය හුදු හාස්‍යෝත්පාදනයට සීමා කෙළේ ය. අනූව දශකයේ මැද ආරම්භ වූ මේ ප්‍රවණතාව අද දක්වා ම පවත්නා අවිච්ඡින්න ජනප්‍රියතාවක් විජය නන්දසිරිට ගෙන-දිනි. හාස්‍යෝත්පාදකයකු ලෙස ෆ්‍රෙඩී සිල්වාට තුබුණු ආකර්ෂණය ඉන් පසු විජය නන්දසිරිට හිමි වූ හ යි කිව ද වරදක් නො වේ. ඔහු ගේ අභාවය පිළිබඳ සමාජ ජාලයන්හි සංසරණය වන සටහන් සිය ගණනක් ඒ ආකර්ෂණයට සාක්ෂ්‍ය සපයයි.
‘සිංහබාහු’, ‘මහාසාර’, ‘නරිබෑනා’, ‘ජසයා සහ ලෙන්චිනා’, ‘රත්නාවලී’, ‘තාරාවෝ ඉගිලෙති’, ‘හුණුවටයේ කතාව’, ‘කුවේණි’, ‘සුබ සහ යස’, ‘කුස පබාවතී’, ‘සඳකඩපහණ’ ආදියෙන් රංගනය ආරම්භ කළ විජය නන්දසිරි රංගනය අවසාන කෙළේ ‘නෝනාවරුනි මහත්වරුනි’, ‘යර්ස් බොස්’, ‘එතුමා’, ‘සිකුරු හතේ’, ‘සුහද කොකා’ ආදියෙන් ය. මෑත කාලයේ විජය නන්දසිරි කළ එක ම චරිතාංග රංගනය වූයේ ගයා රම්‍ය අල්විස් ගේ ‘කොළොඹ අහස’ ටෙලි නාට්‍යයේ බොතේජු නම් වෘත්තීය සමිති නායකයා ගේ චරිතය යි. මෙසේ විජය නන්දසිරි ගේ චරිතාංග රංගනය කප්පාදු වූයේ ඔහු ගේ ම වරදින් නො ව ඔහු දැක්කත් හිනා වීමට බලා සිටි ප්‍රේක්ෂකයා ගේ වරදිනි. බහුතර ප්‍රේක්ෂකයා ඉල්ලන දේ ම සපයන්නට බලා සිටින අධ්‍යක්ෂවරු ඊට වග කිය යුත්තා හ.
විජය නන්දසිරි බඳු ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පියකු හුදු හාස්‍යෝත්පාදක රංගනයට සීමා කිරීමෙන් පෞද්ගලික ව විජය නන්දසිරිටත් පොදුවේ සිංහල දෘශ්‍යකාව්‍ය සාහිත්‍යයටත් සිදු වූයේ මහා අසාධාරණයකි. ජෝ අබේවික්‍රමට ගෙන් සිංහල දෘශ්‍යකාව්‍ය සාහිත්‍යයට සිදු වූ සම්ප්‍රදානය බඳු සම්ප්‍රදානයක් විජය නන්දසිරි ගෙන් සිංහල දෘශ්‍යකාව්‍ය සාහිත්‍යට නො ලැබී ගියේ විජය නන්දසිරි නම් අසහාය චරිතාංග රංගන ශිල්පියා හාස්‍යෝත්පාදනයට කොටු කැර තොගට සිල්ලරට ඔහු විකුණා-ගෙන කෑ කුප්‍රකට කලා වෙළෙන්දන් හේතුවෙනි.
මේ වෙළෙඳ ගැටයට ම අසු වූ මහේන්ද්‍ර පෙරේරා, සරත් කොතලාවල, ආනන්ද වික්‍රමගේ බඳු තවත් ප්‍රවීණ රංගන ශිල්පීහු කිහිප දෙනෙක් ම වෙති. ඔවුන් ඉන් මුදවා-ගැනීමට නම් කළ යුත්තේ මෙරට දෘශ්‍යකාව්‍ය රසිකයාට උසස් රසඥතාවක් ඇති කොට උසස් ප්‍රමිතියේ දෘශ්‍යකාව්‍ය නිර්මාණ සඳහා වෙළෙඳ පොළ ඉල්ලුමක් සැකැසීම යි. විජය නන්දසිරි වෙනුවෙන් කළ හැකි උසස් ම උපහාරය එය වනු ඇත.

Thursday, August 4, 2016

භාරතීය බමුණු පඬිවර ක්ෂීර ස්වාමීනට කුමාරතුංග මුනිදාස කළ හදිය!



දේශපාලන විචාරකයකු වසයෙන් කුමාරතුංග මුනිදාසයන් කළ කී දෑ නිසි පමණ කතාබහට ලක් වනු අසන්නට නො ලැබෙන තරමි. එ බඳු කතාබහකට යම් පමණකට හෝ ප්‍රවේශයක් සැපැයූ එක මැ තැනැත්තාණෝ ‘කුමාරතුංග ගේ සමාජ දර්ශනය’ රචනා කළ හරිශ්චන්ද්‍ර විජේතුංගයෝ යැ. භාරතයේ සංස්කෘතික සහ දේශපාලනික බල ව්‍යාප්තිය හෙළ දිවැ ස්වෛරී භාවයට හානි පමුණුවන ආකාරය එ දා කුමාරතුංගයන් මැනැවින් විශ්ලේෂණය කොටැ තිබේ. ස්වදේශ මිත්‍රයා, ලක් මිණි පහන, සුබස, The Helio වැනි පුවත්පත් සඟරා ආදියට ඔවුන් සැපැයූ ලිපි ඉඳුරා මැ ඒ අදහස් පළ කරයි. මේ තතු නැවැත නැවැතත් විමැසීම කාලෝචිත වන්නේ ආර්ථික, දේශපාලනික සහ සංස්කෘතික වසයෙන් හෙළ දිව ගිල-ගැනීමට භාරතීය එට්කා ආක්‍රමණය සැරැසෙමින් සිටිනා බැවිනි. 


වරක් දේවානම්පිය තිස්ස රජු ගැනැ ලියූ කුමාරතුංගයෝ ඔහු භාරතයට පරම දීනයකු වැ සිටි බව සසාධක වැ සනාථ කළහ. ඔවුන් ගේ විග්‍රහය අනුව ලිස්බනයට දීන වැ සිටි දොන් ජුවන් ධර්මපාල රජු ද එතරම් දීනයෙක් නො වී යැ. හුදු බල ලෝභය නිසා මහා ජන සංහාරයක් කළ භාරතයේ අශෝක රජු ‘ධර්මාශෝක’ කිරීමත්, බුදු සසුනේ චිරස්ථිතිය පිණිස යුද වැදුණු හෙළ දිවැ ගැමුණු රජු ‘දුෂ්ට ගාමිණී’ කිරීමත් භාරතයේ කුමන්ත්‍රණයක් බව ද කුමාරතුංගයෝ මොනොවට පැහැදූ හ. බුදුන් පහළ වූ දඹදිවැ ඉපැදෙන්නට පතනා තත්කාලීන ජනප්‍රිය සිංහල බෞද්ධයා ගේ දීන චින්තනය ද කුමාරතුංගයන් ගේ නිරන්තර උපහාසයට ලක් වී. කුමරතුඟු පබඳ ඇසුරු කළ ඇත්තෝ මේ තතු දනිති. එබැවින් දීර්ඝ වසයෙන් මෙහි ලා ගෙන හැරැ පෑම නිසි නො වේ.


කුමාරතුංගයන් ගේ ළමා කතාවලින් හෙළි වන භාරත විරෝධය පිළිබඳ වැ මෑතෙකැ දී අපට අසන්නට ලැබුණේ කොළොඹැ සරසවියේ ලලිතසිරි ගුණරුවනුන් පැවැත්වූ ප්‍රසිද්ධ දේශනයෙකිනි. මිතුරු වෙසින් පැමිණෙන එට්කා ආක්‍රමණයේ සැබෑ පරමාර්ථ හඳුනා-ගැනීමට අසමත් වීමේ දුර්විපාක පැහැදිලි කිරීම සඳහා ඔහු තුමූ කුමාරතුංගයන් ගේ ‘මඟුල් කෑම’ කථා වස්තුව භාවිත කළහ. ඒ වූකලී මනා විග්‍රහයෙකි. කුමාරතුංගයන් ගේ ‘හීන්සැරය’ ද දේශපාලන කථා වස්තුවක් බව ඒ වන විටත් බොහෝ විචාරකයන් පෙන්වා-දී තිබිණි. කුමාරතුංගයන් ලියූ අනෙක් ළමා කතාව වන ‘හත්පණ’ එ බඳු දේශපාලන අන්තර්ගතයෙකින් සපුරා විමුක්ත දැ යි අපි මඳක් විමැසූමු. ඒ කථා වස්තුව පුරා පල් මෝඩයකු ලෙස නිරූපිත ‘කිරි හාමි’ ගේ නම ගැනැ අපට කල්පනා වූයේ එ විටැ යැ. 


‘කිරි හාමි’ යනු සංස්කෘත භාෂාවට පෙරැළූ කලැ ‘ක්ෂීර ස්වාමීන්’ යනු යි. ‘ක්ෂීර ස්වාමීන්’ නම් වූයේ පුරාණ භාරතයේ වුසූ බ්‍රාහ්මණයෙකි. ගුප්ත යුගයේ වික්‍රමාදිත්‍ය රජ දවසැ වුසූ අමරසිංහ ආචාර්යයන් ගේ ‘අමරකෝශයට’ සැපැයුණු ආදිතම ව්‍යාඛ්‍යානය වූ ‘අමරකෝශෝද්ඝාටනය’ ලීවේ ‘ක්ෂීර ස්වාමීන්’ හෙවත් ‘කිරි හාමි’ යැ. එහෙවු භාරතීය පණ්ඩිතයකු ගේ නමින් පල් මෝඩයකු හැඳින්වීම හුදු අහම්බයක් නො වන බව අප ගේ මෘතිකත්වය යි. ජාතක පොත ලියූ කුරුණෑගල් යුගයේ ලේඛකයන් එහි නොයෙක් තැනැ දඹදිවැ බමුණු පඬිවරුන් උපහාසයට ලක් කළ සේ මැ කුමාරතුංගයන් ‘කිරි හාමි’ ගේ මෝඩකම් ගැනැ ලීවේ ‘ක්ෂීර සාමීන්’ වැනි දඹදිවැ බමුණු පඬිවරුන් ගේ මුග්ධ විශ්වාස උපහාසයට ලක් කරනු පිණිසැ වියැ නොහැකි ද?