සුබ අලුත් අවුරුද්දක් වේ වා!
අලුත් අවුරුද්දේ සුබ පතන විට බොහෝ දෙනාට ඇති වන පොඩි අවුල් දෙකක් ගැන මෙසේ ලියන්නට සිත් විය. මේ අවුල ලිහා-ගත් කල වරද්දා-ගන්නේ නැති ව සුබ පැතිය හැකි යි.
පළමු වැනි අවුල මේ 'සුබ' ගැන යි. ශුභ, සුභ, සුබ යන තුන් ආකාරයෙන් මැ මේ වදන දක්නට ලැබේ. ඒ නිසා නිවැරැදි කිමෙක් දැ යි යමකු සිත්හි විචිකිච්ඡාවක් ඉපැදීම සාධාරණ ය. මේ තුන මැ හරි. 'ශුභ' ආවේ සකුයෙනි. 'සුභ' ආවේ පාළියෙනි. ඒ දෙදෙනා හෙළ බසට හැඩගැසුණේ 'සුබ' යනුයෙනි.
දැන් ගැටලුව ඇති වන්නේ කවර තැනක කවර වදන යෙදිය යුතු ද යන්න ගැන ය. එහි දී අප තැකිය යුත්තේ ශ්‍රැති මාධුර්යය යි. 'අලුත් අවුරුද්ද' යන්න හෙළ යෙදුමෙකි. සෞම්‍ය ශබ්ද සංයෝගයක් වන ඒ සමඟ මහාප්‍රාණ හා ශ'කාර වැනි රළු ශබ්ද පෑහෙන්නේ නැත. ඒ නිසා සුදුසු වනුයේ 'සුබ අලුත් අවුරුද්ද' යි. 'නැකැත' යනුත් හෙළ වදනක් නිසා ඒ සමඟ ද යෙදිය යුත්තේ 'සුබ' යන්න යි.
'ශුභ' යන්න යෙදිය යුත්තේ සකුයෙන් ගත් 'ප්‍රාර්ථනා' වැනි වදන් සමඟ යි. 'සුභ' යන්න යෙදිය යුත්තේ පාළියෙන් ගත් වදන් සමඟ යි. පාළි වදන් කට වහරේ මුත් ගත් වහරේ එතරම් නො යෙදෙන නිසා අපි පාළියෙන් ආ 'සුභ' දැනට අමතක කරමු.
දෙ වැනි අවුල අවුරුද්ද අලුත් ද? අළුත් ද? යන්න ගැන යි. D. F. කාරියකරවනයෝ වරක් මේ අවුල ගැන මෙසේ ලියූ හ:
"කලෙක සිට ඇතැම් කැලෑ පත්තරවලත් යකා ගේ රූප පෙට්ටියේත් 'අළුත් අවුරුද්දකට' සුබ පතනු දක්නට ලැබේ. අවුරුද්දට සුබ පැතීම හොඳ ය. එහෙත් සුබ පැතීමට 'අළු' කුමට? අළු ළිබ්බෝක්කේ තුබුණා වේ. අපි අළු නැති ව අවුරුද්දට සුබ පතමු. සුබ අලුත් අවුරුද්දක් වේ වා!"
දැන් අවුල් දෙක මැ ළිහිලා ඉවර යි. ඉතින් ඔබ සැමට 'සුබ' අලුත් අවුරුද්දකට 'ශුභ' ප්‍රාර්ථනා!
උබ නම් සිරාම හෙලයෙක් බන්!!
ReplyDelete