Tuesday, April 21, 2020

කුණු සින්නො - 7: "මල්ලි, මට මේක ට්රාන්ස්ලේට් කරලා දෙන්න පුළුවන් ද?"

සරසවියේ පළමු වැනි වසරේ දී මා හදාළේ සිංහල, ඉංගිරිසි, වාග්විද්‍යාව යන විෂය ත්‍රයය යි. දෙ වැනි වසරේ පටන් ඉන් එක් විෂයයක් තෝරාගෙන විශේෂ ශාස්ත්‍රවේදී පාඨමාලාවක් හෝ ඒ තුන ම තෝරාගෙන සාමාන්‍ය ශාස්ත්‍රවේදී පාඨමාලාවක් හෝ හදාළ යුතු විය. විශේෂ ශාස්ත්‍රවේදී පාඨමාලාවක් හදාරන බවට මා ඒ වන විටත් තීරණය කොට තුබුණ ද ඒ කවර විෂයයෙන් ද යන තීරණය ගැනීම පහසු වූයේ නැත. පළමු වැනි වසරේ හදාළ විෂය ත්‍රයයෙන් ඕනෑ ම එකක් විශේෂ ශාස්ත්‍රවේදී පාඨමාලාව සඳහා හැදෑරීමට සුදුසු කම් ලබා තිබීම ප්‍රශ්නය තවත් සංකීර්ණ කෙළේ ය. වැඩි දෙනකු මා තල්ලු කෙළේ ඉංගිරිසි හැදෑරීමට ය. එහෙත් විචාර ප්‍රශ්නවලට පිළිතුරු ලිවීම සඳහා උද්ධෘත පාඨ කට පාඩම් කිරීම මහා වේදනාවක් සේ සලකන මට ඉංගිරිසි හෝ සිංහල හෝ සමඟ විශේෂ ශාස්ත්‍රවේදී දීගය කෑ නොහෙන බව වැටැහිණි. එහෙත් වාග්විද්‍යාව කෙරෙහි මසිතැ පැවැත්තේ නොසිඳෙන කුහුලෙකි; ළිය ලන ආශාවෙකි; ඤාණ පිපාසාවෙකි. මා ගේ ආචාර්ය භවතුන් දෙදෙනකු යෝජනා කළ පරිදි වාග්විද්‍යා විශේෂ ශාස්ත්‍රවේදී පාඨමාලාව සපුරා ම ඉංගිරිසි මාධ්‍යයෙන් හැදෑරීමට අන්තිමේ දී මම තීරණයක් ගත්තෙමි.

වාග්විද්‍යා විශේෂ ශාස්ත්‍රවේදී පාඨමාලාව හදාරන්නට පටන් ගත් අලුත එක් දිනක් මම පොත්ගුලට වැදී බැහැර දෙන අංශයේ පොත් කිහිපයක් සමඟ ඔට්ටු වෙමින් සිටියෙමි. මට මතක හැටියට එවක එක් වරකට බැහැර ගත හැකි වූයේ පොත් දෙකක් පමණි. එහෙත් මට වුවමනා වී තුබුණු පොත් තුනක් ම එදා මට හමු විය. ඉන් එක් පොතෙක වූ දැයින් මට සැබැවින් ම අවශ්‍ය වූයේ පිටු කිහිපයෙක ලිපියක් පමණි. ඒ පිටු කිහිපය ඡායාරූපගත කිරීමට තරම් දියුණු ජංගම දූරකථනයක් එවක මා සතු නො වී ය. ඒ තුබුණු ජංගම දූරකථනයෙන් ඡායාරූප ගත හැකි වුව ද එහි සැණ-එළි විදිනයක් (flasher) නො වූයෙන් පුස්තකාලයයේ පොත් රාක්ක අස්සේ අඩ අඳුරු පරිසරයේ දී ඉන් පැහැදිලි ඡායාරූපයක් ගත හැකි වුව හොත් ඒ විශ්වකර්මයාට ම ය. පොත් රාක්කයක් මත පොත දිග ඇරගෙන රාක්කයට ම හේත්තු වී පොත කියවා තබා යාමට මම අවසානයේ හිත හදාගත්තෙමි. එසේ පොත කියවන අතරේ මට පිටු පසින් නොයෙක් දෙනා යනු එනු මට ඇස් කොනින් ඡායා මාත්‍රික ව පෙනේ. ඒ කිසිවකු ගෙන් මට වත් මගෙන් ඒ කිසිවකුට වත් බාධාවෙක් නො වී ය.

ටික වේලාවක් මෙසේ ගෙවී ගියේ ය. සෙමෙන් සෙමෙන් මා පසු කොට ගිය එක් ඡායාවක් නුදුරේ රැඳී මා දෙස බලා ඉන්නා සෙයක් මට දැනේ. මම ගණන් නො ගෙන සිටියෙමි. මොහොතකින් ඒ ඡායාව නැවැතත් සෙමෙන් සෙමෙන් මා පසු කොට යයි. එවර එය මා අසල ම නැවැතිණි. "මේ මොන හොල්මනක් ද?" යි සිතමින් මම හැරී බැලුවෙමි. රෝල් කළ කඩදහි කීපයක් අතැති ව බයාදු සිනාවක් මුහුණට නඟාගත්තෙක් එහි වී ය. ඒ අනෙකකු නො ව 'මිල්ක් බාර්' කියා ජාතියක් නැති බවත් ඒවා 'කිරි හල්' බවත් මට උගන්වාලූ බළල් කුලයේ කුණු සින්නා ය. "මල්ලි පොතක් කියවකියව හිටපු නිසා මම ඩිස්ටර්බ් කළේ නෑ" හේ ඉතා ආචාරශීලී ලෙස කීවේ ය. "මේකා මේ මොකාට එන්න හදනවා ද?" යි සිතමින් මම "නෑ, කමක් නෑ" කීවෙමි. "මල්ලි ඉංග්ලිශ් නේ ද කරන්නෙ?" ඒකා ඊළඟට ඇසී ය. මම ගත් කටට ම "නෑ" කිව්වෙමි. "නෑ?" ඒකා විස්මයයෙන් ප්‍රතිරාව කෙළේ ය. "මල්ලි ෆස්ට් ඉයර් එකේ දී කළා නෙ?" හේ හාරාවුස්සන්නට පටන් ගති. "ඔව්, ඒත් ස්පෙශල් එකට තෝරගත්තෙ වාග්විද්‍යාව" ඉක්මනින් මේකා පිටත් කොට පොත කියවාගත යුතු බැවින් මගෙන් ලැබෙන්නේ කෙටි පිළිතුරු ය.

කුණු සින්නා සිය බයාදු සිනාව මුහුණ පුරා විහිදුවමින් අතැ වූ කඩදහි කිහිපය දිග ඇරියේ ය. "මල්ලි, මට මේක ට්රාන්ස්ලේට් කරලා දෙන්න පුළුවන් ද?" හේ ඉතා යටහත් ව ඇසී ය. මම කිසිත් නො කියා ලේඛනය අතට ගෙන පිරික්සා බැලීමි. ඒ වනාහි භාරතයේ මොකක් දෝ බුදු පිළිම සම්ප්‍රදායයක් ගැන ඉංගිරිසි බසින් ශාස්ත්‍රීය සංග්‍රහයක පළ වූ ලිපියෙකි. දහය ප්‍රමාණයේ තරම් කුඩා අකුරින් පිටුවකට තීරු දෙක බැගින් වන සේ යතුරු ලියා තුබුණු එය පිටු හත අටක් දිගු ය. "කවද්ද මේක කෙරෙන්න ඕන?" මම ලේඛනය පිරික්සා අවසන ඇසීමි. "අනේ, මල්ලි, අද හෙට ම ඕන. එසයින්මන්ට් එකකට. සිකුරාදාට සබ්මිට් කරන්න තියෙන්නෙ" කුණු සින්නා කියාගෙන කියාගෙන ගියේ ය. "වෙලාව යන වැඩක්. අපි මෙහෙම කරමු." මම යෝජනා කෙළෙමි. "අපි අද හවස හම්බ වෙලා මේක ඉවරයක් කරමු. මම මේක කියවලා තේරුම කියන්නම්. ඔයා ලියාගන්න." හේ තෙමේ ඉතා සතුටින් ඒ යෝජනාවට එකඟ විය. "එතකොට මල්ලි අපි කීයට ද හම්බ වෙන්නෙ?" හේ ඇසී. "හවස හයට හිල්ටන් රීඩිං හෝල් එකට එන්න" මම කීවෙමි. කුණු සින්නා ඊට අනුකුලතාව පා දුරබණු අංක ද හුවමාරු කොටගෙන ගියේ ය.

කඩදහි කීපයකුත් ශබ්දකෝශයකුත් මල්ලේ ඔබාගෙන මම නියමිත වේලාවට එහි ගියෙමි. කලින් දා මිලට ගත් 'Sunday Island' පුවත්පත ද මල්ලේ තිබිණි. කුණු සින්නා එන තුරු මම එය කියවන්නට පටන් ගත්‍තෙමි. අඩ හෝරාවක් ගෙවී ගියේ ය. කුණු සින්නා නැත. මම ඔහුට දුර ඇමැතුමක් ගත්තෙමි. දුර බණුව නද දෙයි. කුණු සින්නා පිළිතුරු නො දෙයි. මම නැවැත පුවත්පත කියවමි. දැන් හෝරාවක් ගෙවී ගොස් ය. මම නැවැත ද ඔහුට දුර ඇමැතුමක් ගත්තෙමි. ඊට ද ප්‍රතිචාරයක් නැත. "තව ටිකක් බලමු" යි සිතාගෙන මම යළිත් පුවත්පත කියවමි. දැන් නම් හෝරා එකහමාරකට වඩා ගෙවී ගොස් ඇත. වේලාව අටට කිට්ටු බව කල් යතුර දන්වයි. නැවැත නැවැත ඇමැතුව ද හේ දුර බණුවට පිළිතුරු නො දෙයි. "මේකා මට එන්න කියලා උගුලක් වත් ඇටෙව්වා දෝ" යි සිතේ. එහෙත් අනතුරෙක සේයාවක් වත් නැත. "ඌ ඕන මඟුලක් කරගත්තාවෙ" යි සිතා මම පුවත්පත ද මල්ලේ ඔබාගෙන නවාතැනට ගොස් කා බී නිඳාගතිමි. පසු දා උදයේ කුණු සින්නා මා ඇමැතී ය. "අනේ, සොරි මල්ලි, ඊයෙ හවස හදිස්සි හොස්ටල් මීටිං එකක් ගත්‍තා. ඉවර වෙන කොට රෑ වුණා" හේ නිදහසට කරුණු කී ය. ඒකාට තම අධ්‍යාපනයට වඩා හොස්ටල් මීටිම වැදැගත් වී ඇත.

"අනේ, මල්ලි, අපි අද අනිවා වැඩේ කරමු ද?" ඒකා ලජ්ජාව නොහඳුනන හෙයින් දෝ මගෙන් ඇසී ය. ඔහු නිසා රස්තියාදු වී සිටි මට යකා වැහිණි. "පිස්සු කතා කරන්න එපා. ඊයෙ මං ආවෙ යොදාගෙන තිබුණු වැඩක් අදට කල් දාලා. අද මං ඒ වැඩේට යන්න ම ඕන. වෙන කෙනකුට කියලා කරගන්න බලන්න. සොරි." මම කියාගෙන කියාගෙන ගොස් දුර ඇමැතුම විසන්ධි කෙළෙමි. කුණු සින්නා ඊට පිළිතුරු විසින් කුමක් කීවා දැ යි මට මතකයක් නැත.

Monday, April 6, 2020

කුණු සින්නො - 6: "අඩෝ මූ මිල්ක් බාර් කියලා එකකට යනවලු"

එදා සරසවියේ දෙසුම් හමාර වූයේ මහ දවාලේ ය. හැන්දෑවේ දෙසුම් නැත. ඒ නිසා නවාතැනට යා යුතු ය. සුපුරුදු පරිදි වේවැල්දූව පාරෙන් යන්නට සිත් වුව ද මහ දවාලේ අව්ව නිසා ඇති වූ දාහය එයට සිත මැළි කරවයි. ඒ නිසා සරසවියේ ඉදිරි පසින් ම යන්නට අදහස් කෙළෙමි. තෙල් බැම්ම ඉස්සරහින් ගිය හොත් කුණුහරුප වරුසාවකට තෙමෙන්නට සිදු වන බැවින් පුස්තකාලයය පැත්තට ගොස් මී අඹ සෙවණ මැද්දෙන් තෙල් බැම්ම මඟ හැර යන්නට පටන් ගත්තෙමි. තෙල් බැම්මේ කුණු සින්නන් කුණු හරුප කියනු පෙනිපෙනී ඇසිඇසී යා යුතු ගමනක් නිසා හද ගැස්ම නැඟෙයි. එහෙත් ඒ වේලාවේ සිත බල කෙළේ ඒ පාරෙන් යන්නට ය.

වැඩි දුරක් යා නො දී මී අඹ සෙවණේ වූ සින්නෙක් මා නෙත ගැටිණි. ඒකා බළල් කුලේ එකකු බව පසු කලෙක දැනගන්නට ලැබිණි. කටේ දිවේ නො ගෑවී කුණු හරුප කීමෙහි ලා සියලු කුණු සින්නන් අතුරෙන් පෙරමුණේ ම සිටියේ ඒකාත් තවත් එකකුත් ය. එහෙත් ඔහු සිටියේ මට පිටු පාලා ය. ඒක සැනැසීමකි. ඒ නිසා ඒකා ගේ බළල් ඇසෙහි නො ගැටී යාගත හැකි වෙති යි සිතූ මම ඒ පැත්ත වත් නොබලා පය ඉක්මන් කෙළෙමි. ඒ හැටි දුරක් යන්නට ලැබුණේ නැත. "අඩෝ, ෆස්ට් ඉයර්!" යනුයෙන් ඒ බළල් කුලයා හඬ නඟනු ඇසිණි. මම නෑසුණා සේ යන්නට තැනීමි. "උඹට කන ඇහෙන්නේ නෑ වගේ නේ ද?" යි ඒකා නැවැත ද කියනු ඇසුණෙන් මම ආපසු හැරී බැලුවෙමි.

"මෙහෙ වරෙන්!" ඒකා මුහුණ නොරොක් කොටගෙන, දෑස් ඔරවාගෙන, නළල රැළි නංවාගෙන මට හඬ තැළී ය. මම කුණු හරුප අහන්නට හිත හදාගෙන ඒකා වෙත සෙමෙන් සෙමෙන් කිට්ටු කෙළෙමි. "උඹ කොහෙද යන්නෙ?" බිළාල කුලයා ගුගුරාගෙන පැන්නේ ය. මම වට පිට බලා "අර මිල්ක් බාර් එකට" යි කීවෙමි. "කොහේ ද?" කුණු සින්නා ඇස් මහත් කොට විමතියෙන් ඇසී ය. "මිල්ක් බාර්" යන ඉංගිරිසි වචනය ඔහුට අජීර්ණ වූ බව මට එක් ක්ණෂයෙන් අවබෝධ විණි. එහෙත් ඒ අල්ල පනල්ලේ "මිල්ක් බාර්" එකට සිංහලයෙන් කියන වචනය මා සිතට එන්නේ නැත. අම්මා ගේ අතේ එල්ලී පෙර පාසල් ගිය අවදියේ පටන් මා එවැනි ඒවාට කීවේ "මිල්ක් බාර්" කියා ය. මම බිම බලාගත්තෙමි.

"කියපං *ත්තො, මොකක් ද උඹ ඒකට කියපු නම?" කුණු සින්නා මා වෙත නැඹුරු වෙමින් අසයි. මම බයෙන් බයෙන් හිස ඔසවා එවැනි ඒවාට මා දන්නා කලෙක පටන් කියූ එක ම නම වූ "මිල්ක් බාර් එක" යන්න කියමි. බිළාල කුලයේ කුණු සින්නා ගේ ඉවැසුම් වැසුම් ඉරාගෙන පැන්නේ ය. කන් පිරෙන්නට සම්මා වාචායෙන් සංග්‍රහ ලැබිණි. "ඇත්ත කියපං තෝ බැම්මට අහු වෙලා නෑ නේ ද?" හේ අග දී ඇසී ය. "කීප දවසක් මාව නැවැත්තුවා" මම කීවෙමි. "කීප දවසක්? ඔව් ඉතිං තෝව නවත්තන්නේ කොහෙද තෝ කැලෑපාරවලින් පනිනවනේ?" හේ ගුගුළේ ය. නැවැත දු සම්මා වාචායෙන් මට සංග්‍රහ කළ හේ තෙමේ "මිල්ක් බාර් එකට" සිංහලයෙන් කියන්නේ "කිරි හල" බව මට කියා දුන්නේ ය.

"දැන් වරෙන් බැම්මට යන්න" යි කියමින් කුණු සින්නා ඉස්සර වූයේ ය. මම පසු මඟ ගතිමි. "කිරි හල" යන වචනය දෙකනෙහි දෝංකාර දෙයි. දැන් තෙල් බැම්මට ගෙන ගොස් අසුවල් ඇබැද්දියක් සිදු කරනු ඇද්දැයි සිතේ ඉවැසුම් නැත. "අඩෝ මූ මිල්ක් බාර් කියලා එකකට යනවලු" බිළාල කුලයා මා පෙන්වමින් තවත් කුණු සින්නකුට කීවේ ය. "මිල්ක් බාර්?" යනුවෙන් ප්‍රතිරාව කරමින් ඒ කුණු සින්නා මා දෙසට ආවේ ය. "ඔව්, මූ කිරි හලට කියන්නේ මිල්ක් බාර් කියලා" බිළාල කුලයේ කුණු සින්නා සෝපහාසී සිනාවක් නඟාගෙන කීවේ ය. මම බිම බලාගෙන සිටියෙමි. මා වෙත ඇවිද ආ අනෙක් කුණු සින්නා, "යකෝ, බාර් කියන්නේ අරක්කු විකුණන තැනට; කිරි විකුණන තැනට නෙවෙයි" යනුවෙන් මට ඉංගිරිසි පාඩමක් කියා දුන්නේ ය. මම ද හිස නමා කන් සලා උගත්තෙමි.

"එතකොට රෙකෝඩ් බාර් කියන්නේ අරක්කු රෙකෝඩ් කරන තැනට ද?" කියා අසන්නට සිත් වූ නමුත් බත් කන්නට දත් ඕනෑ බව කල්පනා වූයෙන් මම යටහත් බව ම පෑවෙමි. තෙල් බැම්ම මඟ හැර යාමටත් සරසවියේ කිරි හල් ගණන නොදැනීමටත් දඬුවම් වසයෙන් ඔහු තුමූ මා තෙල් බැම්ම වටා වට කිහිපයක් ඇවිද්දවූ හ. ඒ ඇවිද්දවූයේ කලිසමේ එක් කකුලක් උඩට නවා පොත් ටික හිසට දීලා ය. එසේ චිරාගත චාරිත්‍රානුකූල ව තෙල් බැම්ම ප්‍රදක්ෂිණා කරද්දී ඊට පස්ස දී ගෙන උන් සෙසු කුණු සින්නෝ ද විටින් විට මා නවතා නොයෙක් දෑ විචාරමින් විනෝද වූ හ. මෙසේ අඩ හෝරාවක් පමණ ගෙවුණු පසු මට නවාතැන කරා යන්නට නිදහස ලැබිණි.