Friday, May 11, 2018

මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි ගේ පරම පවිත්‍ර පරස්පර බොරු



ගෞතම බුදුන් පහළ වූයේ ශ්‍රී ලංකාවේ ය යන අමූලික මිථ්‍යාව පතුරන අය අතුරෙන් ප්‍රමුඛයකු වන මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි ලියූ පොත් කිහිපයක් අපි කියවා බැලූමු. ඒ පොත් පෙළේ පළමු වැන්න වන “අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්වීපයයි” යන්න 2009 දී පළ වූවෙකි. එහි දෙ වැනි කොටස 2010 දී පළ විය. පොත් පෙළේ අලුත් ම පොත 2015 දී පළ වූ “ගොතම බුදුන් වැඩ සිටි දඹදිව හෙළයා හඳුනා ගතයුත්තේ ඇයි?” යන්න යි. සිහි නුවණ ඇති පාඨකයන් ගේ ඉළ කැඩෙන තරමට සිනා නංවන දෑ කෙතෙකුත් මේ පොත් තුනේ ම තිබේ. ඒ අතුරින් වෙසෙසින් අප සිත් ගත්තේ ගෞතම බුද්ධ චරිතය හා සම්බන්ධ ග්‍රාම නාම සඳහා ඒ හිමි සපයන නිරුක්ති සමුදායය යි. මේ සැකෙවි සටහනේ අරමුණ ‘පරම පවිත්‍ර සිරි සද්ධර්මය’ යි කියමින් ඒ හිමි ඇද බාන පරස්පර නිරුතක් ගැන යි.

මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි පවසන අන්දමට සිදුහත් තවුසාණන් බුද්ධත්වයට පත් වූ තැන (බුද්ධගයාව) පිහිටියේ ශ්‍රී ලංකාවේ හරි මැද ය. ඒ හිමි එතැන හඳුන්වන්නේ ‘මධ්‍ය මණ්ඩලය’ යනුවෙනි. ගණන් බලා දක්වන අන්දමට මේ ‘මධ්‍ය මණ්ඩලය’ ඇත්තේ වර්තමානයේ ‘හිරිවඩුන්න’ යනුවෙන් හැඳින්වෙන ග්‍රාමයෙහි ය. ඒ හිමි පරස්පර බොරු ඇද බාන්නේ මේ ග්‍රාම නාමයට නිරුක්ති කියන්නට ගොසිනි. 2009 දී පළ කැරුණු වන “අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්වීපයයි” නම් පොතෙහි 61 වැනි පිටුවේ සඳහන් පරිදි ‘හිරිවඩුන්න’ යනුවෙන් වහරට පැමිණ ඇත්තේ ‘හිමි වැඩ උන්න’ යන්න යි. එහි ලා ‘හිමි’ යන පදයෙන් අදහස් කොට ඇත්තේ ‘බුදු හිමි’ බව පැහැදිලි ය. ඒ අනුව 2009 දී ඒ හිමි කියන්නේ ‘හිමි+වැඩ+උන්න > හිරිවඩුන්න’ වී ඇති බවෙකි. තතු මෙ සේ තිබිය දී 2015 දී පළ කැරුණු “ගොතම බුදුන් වැඩ සිටි දඹදිව හෙළයා හඳුනා ගතයුත්තේ ඇයි?” යන පොතෙහි 164, 165 පිටු දෙකෙහි සඳහන් පරිදි ‘හිරිවඩුන්න’ යනුවෙන් වහරට පැමිණ ඇත්තේ ‘සිරි වැඩ උන්න’ යන්න යි. එහි ලා ‘සිරි’ යන පදයෙන් අදහස් වන්නේ බුදුන් පිට දුන් ඇසතු රුක ලු. මේ අනුව 2015 දී ඒ හිමි කියන්නේ ‘සිරි+වැඩ+උන්න > හිරිවඩුන්න’ වී ඇති බවෙකි. ඔන්න පරස්පරය!



මේ නිරුක්තිවල සත්‍යාසත්‍ය භාවය විමැසීමට අපි නො වෙහෙසෙමු. ළඟ දී ම ප්‍රසිද්ධ සභාවෙක හමු වී ඒ ගැන කථා කරමු. දැන් අපට දැනගන්නට අවශ්‍ය ව ඇත්තේ යම් පදයකට 2009 දී දුන් නිරුක්තිය 2015 වන විට වෙනස් වන්නේ කෙසේ ද යන්න යි. මුලින් දුන් නිරුක්තිය අනුව ‘හිමි+වැඩ+උන්න > හිරිවඩුන්න’ වී තිබේ. පසු ව දුන් නිරුක්තිය අනුව ‘සිරි+වැඩ+උන්න > හිරිවඩුන්න’ වී තිබේ. මුල් නිරුක්තිය අනුව නම් ‘හිරිවඩුන්නට’ ඒ නම ලැබී ඇත්තේ ‘බුදු හිමි’ වැඩ සිටි නිසා ය; පසු නිරුක්තිය අනුව නම් ‘සිරි මහ බෝ’ පිහිටි නිසා ය. 2009 දී වැඩ සිටි බුදු හිමි 2015 දී සිරි මහ බෝ වූයේ කවර ප්‍රාතිහාර්යයෙකින් ද? මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි ගේ අනුගාමිකයන් ගෙන් විමැසීමට ප්‍රශ්න කිහිපයක් අපට තිබේ. ඔබේ ශාස්තෲන් වහන්සේ කලින් කලට ‘පරම සත්‍ය’ මාරු කරන්නේ ඇයි? නිරුත්ති පටිසම්භිදා ඤාණ ලාභියකුට කලින් කලට වෙනස් නිරුක්ති පෙනන බවක් දහමෙහි කියැවේ ද? දැන් අප පිළිගත යුත්තේ මේ දෙකෙන් කවර නිරුක්තිය ද?