රාගම දුම්රිය පොළේ අනිර්වචනීය සෞන්දර්යය


පසු ගිය දාක යම් කටයුත්තක් සඳහා මම රාගමට ගියෙමි. විඩා බර දවසෙක කටයුතු පෙළ ගැස්ම අගට රාගම ගමන යොදා-ගත් බැවින් මා එහි ගියේ ගොම්මන් හැන්දෑවේ ය. ගිය කටයුත්ත හමාර වන විට ගස් වැල් පවා තිමිර සළු පොරවා-ගෙන නින්දට සැරැසී සිටියේ ය. වේලාව රාත්‍රි අටට පමණ ඇත. තවත් පමා නො වී දුම්රියෙක නැඟී කැලැණියට යාමට මම තීරණය කෙළෙමි. වේලාවේ හැටියට ඉක්මනින් ම ආ පසු යා හැක්කේ දුම්රියෙනි. අඩියට දෙකට දුම්රිය පොළට ගිය මම කළු ලෑල්ලක ලියා ඇති ධාවන කාල සටහනට නෙත් හෙළීමි. කැලැණියට යා හැකි දුම්රියක් එන්නට තවත් විනාඩි කිහිපයක් ම තිබේ. ඒ දුම්රිය පැමිණෙන්නේ සිවු වැනි වේදිකාවට ය. මම ප්‍රවේශ පත්‍රයක් ගෙන දුම්රිය පොළ තුළට ඇවිද ගියෙමි.

දුම්රිය වේදිකාවල දුරින් දුරින් එල්ලෙන කහ පැහැති විදිලි බුබුළුවල මලානික ආලෝකය අන්ධකාරය හා අසාර්ථක සටනෙක යෙදී සිටී. බිත්තිවල ආලේප කොට ඇති රෝස පැහැයට හුරු සායම ඒ මලානික ආලෝකය ද උරා-ගන්නා සේ ය. බිම අතුරා ඇති ගල්තාර ද ගනකම් දුහුවිලි තට්ටුවකින් වැසී ඇත. ටොපි කොළ, කඩල ගොටු, විස්කෝතු දවටන ආදිය ඒ මත එහි මෙහි විසිර තිබේ. තැනින් තැන ඇති දුර්වර්ණ වූ ලී බංකුවල කිහිප දෙනෙක් හිඳ සිටිති. කෙනෙක් පුවත්පතක් බලති. තවත් කෙනෙක් නිඳා වැටෙති. අයෙක් තම බඩු පොදි තදින් අල්ලා-ගෙන යන එන උදවිය දෙස සැකයෙන් බලති. ඒ අතර බලා-ගත් අත ඔහේ බලා-ගෙන ජංගම දූර කථනයෙන් ගී අසන තරුණයෝ ද කිහිප දෙනෙකි.

දුම්රිය වේදිකාව කෙළවරේ ඇති කාල වර්ණ මඟී පාලම අද්භුත සත්ත්වයකු ගේ යෝධ ඇට සැකිල්ලක් සේ නැඟී සිටී. ඉන් එ තෙර වී සිවු වැනි වේදිකාවට යන්නට මම පය ඉක්මන් කෙළෙමි. එහි පඩි එකිනෙක මා ගේ පියවර පිළිගත්තේ දඩස් බඩස් හඬ දෙමිනි. මඟී පාලම උඩට රාගම නගරය අපූරුවට දර්ශනය වේ. ඒ වේලාවේ නම් අන්ධකාරය අතරින් දැක්ක හැකි වූයේ කඩ සාප්පුවල නිවෙන දැල්වෙන නියෝන් පුවරුත් ගොඩනැඟිලිවල කවුළුවලින් විහිදෙන විදිලි එළියත් පමණි. යාබද බස් පොළේ වෙහෙසට පත් බස් රියවල ඇඤ්ජින් ගොරවන හඬත් නළා කෝප වී කෑ ගසන හඬත් පැහැදිලි ව ඇසේ. රට කජු වෙළෙන්දන් ගේ ද බස් පලුවන් ගේ ද ස්වරය ඒ හඬ පරයා විටින් විට මතු වේ. මම ඒ ඝෝෂාවට කන් දී-ගෙන බොහෝ වේලා සිටියෙමි.

එ තෙක් වේලා මා සේ ම මුනිවත රැක සිටි දුම්රිය පොළේ යකඩකට හිටි වන ම පණ ඇවිත් බෙරිහන් දුන්නේ ය: “කොළඹ කොටුව බලා ධාවනය වන මන්දගාමී දුම්රිය තව ස්වල්ප වේලාවකින් හතර වැනි වේදිකාවට පැමිණෙනවා ඇත”. සිහිනයකින් බිය වී එක වර ම නින්දෙන් පිබිදුණකු මෙන් මම මඟී පාලමෙන් බැස හතර වැනි වේදිකාවට පා තැබීමි. වියපත් බලවේග කට්ටලයක් මොහොතකින් හති ලා-ගෙන පැමිණියේ ය. මා ඇතුළු හත් අට දෙනෙක් උදාසීන ලෙස එහි නැඟුණහ. මම දුම්රිය මැදිරියේ දොරකඩ හිට-ගෙන වශී වූවකු සේ දුම්රිය පොළ දෙස බලා සිටියෙමි. කාවල්කරු නළාව පිම්බෙන් ඇඤ්ජිම ගුගුළේ ය. කෙමෙන් මා ගේ දර්ශන පථයෙන් ඈත් වන්නට පටන් ගත් රාගම දුම්රිය පොළ ඉක්මනින් ම නො පෙනී-ගියේ ය.
රාගම දුම්රිය පොළ අමුතු තැනෙකි. මා එහි වින්දේ අනිර්වචනීය සෞන්දර්යයකි. නැවැතත් ඒ සෞන්දර්යය විඳින්නට නුදුරේ ම දිනෙක එහි යන්නට මගේ සිත බල කරයි.

- ක. ක. ගනුෂ්ක රන්දුල

Comments

Popular posts from this blog

පුරාණ සුවර්ණ භාෂිත

සිංහල හෝඩියට ඥ ඕනෑ නම් මේ තර්ක හත බිඳින්න.

කොම්පඤ්ඤ වීදිය ද? Slave Island ද? මඤ්ඤං ද?