Thursday, December 3, 2015

තිස් ජයවඩන ඇදුරිඳු දිවි ගමන් හළ - ලස් නො වැ විඳීවා සුව නිවනෙහි පුවළ!


වාග්විද්‍යාව, ප්‍රාචීන භාෂා ශාස්ත්‍ර සේ ම පරිවර්තන ක්‍රමවේද පිළිබඳ ව මෙ රට වුසූ ප්‍රාමාණික විද්වතකු වූ මහාචාර්ය තිස්ස ජයවර්ධනයෝ 76 වසක් ආයු වළඳා 2015 නොවැම්බර 29 වැනි දා රාත්‍රියේ අභාවප්‍රාප්ත වූ හ. මේ සැකෙවි සටහන ඔවුන් පිළිබඳ ව යි.

1960 දශකයේ දී පේරාදෙණියේ ලංකා විශ්වවිද්‍යාලයයෙන් සිංහල විෂයය පිළිබඳ ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ලැබූ තිස්ස ජයවර්ධනයෝ ලංඩන විශ්වවිද්‍යාලයයේ පශ්චාදුපාධි ධරයෙක් වෙති. තද්විශ්වවිද්‍යාලයයේ ප්‍රාචීන හා අප්‍රිකානු අධ්‍යයන ආයතනයෙහි වාග්විද්‍යා විෂයක අධ්‍යාපනය ලැබ 1972 දී ඉදිරි පත් කළ “Case in Sinhalese” නම් නිබන්ධය සඳහා ඔහු තුමූ ආචාර්ය උපාධිය ලදහ. සිංහල ඉංගිරිසි ද්විභාෂාවේ මනා පටුත්වයක් සේ ම පාලි සංස්කෘත ආදි සම්භාව්‍ය භාෂා පිළිබඳ ප්‍රාමාණික ඥානයක් ද තිස්ස ජයවර්ධනයන් සතු විය. ඔවුන් විසින් භාෂා ශාස්ත්‍ර විෂයයෙහි ලියා පළ කරන ලද ශාස්ත්‍රීය ලිපි සමුදායය ඊට සාක්ෂ්‍ය යි.

1966 දී විශ්වවිද්‍යාලයීය ආචාර්යවරයකු ලෙස ස්වකීය වෘත්තීය ජීවිතය ආරම්භ කළ තිස්ස ජයවර්ධනයෝ දිගු කලක් පුරා කොළඹ සරසවියේ සිංහල අධ්‍යයනාංශයේ ද කැලැණි සරසවියේ වාග්විද්‍යා අධ්‍යයනාංශයේ ද සේවය කළහ. කැලැණි විශ්වවිද්‍යාලයය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයය, කොතලාවල ආරක‍ෂක විශ්වවිද්‍යාලයය ඇතුළු විශ්වවිද්‍යාලය ගණනාවක බාහිර ආචාර්යවරයකු ලෙස සේවය කරමින් සිටි ඔහු තුමූ කැලැණි විශ්වවිද්‍යාලයයේ පාලක සභා සාමාජිකයෙක් ද වූ හ.

1939 දී කෑගල්ලේ පනාන ග්‍රාමයේ උපත ලද රාජපක්‍ෂ පතිරන්නැහැලාගේ තිස්ස ජයවර්ධනයෝ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ශ්‍රද්ධා බුද්ධි සම්පන්න බෞද්ධ උපාසකයෙක් වූ හ. ඔවුන් කෙරෙහි නොමඳ ව පැවැති මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා ආදි සද්ගුණ සමුදායය ශිෂ්‍යයන් ගේ අපරිමිත ගෞරවාදරයට පාත්‍ර වූ අතර සේවය කළ හැම විශ්වවිද්‍යාලයයක ම සිසුන් ගේ ප්‍රියතම ආචාර්යවරයෙක් වූ හ.


“බස් විදු අඹරැ සුවිපුල් දැනුමින් පතළ - රැස් කැන් විහිදැවූ සොමි සඳයුරු අදළ
තිස් ජයවඩන ඇදුරිඳු දිවි ගමන් හළ - ලස් නො වැ විඳීවා සුව නිවනෙහි පුවළ”

No comments:

Post a Comment