සේවාර්ජිත මහාචාර්ය ජේ. බී. දිසානායක සූරීන් ජාත්‍යන්තර සිංහල හෝඩියට ඥ අක්ෂරය එක් කළ බවක් කියමින් සුනිල් දෑරංගල සූරීන් ලියා ඇති සටහන සම්පූර්ණයෙන් ම පාඨකයා නොමඟ යවනසුලු කරුණින් මුළාවට වැටී ලියා ඇති එකක් බව නො කියා බැරි ය. මේ වනාහි අප හිතවත් ජේ. බී. දිසානායක සූරීන් හිතා මතා ගොතා කියන කතාවකි. මේ කතාවෙන් සුනිල් දෑරංගල සූරීන් වැන්නවුන් පවා මුළාවට වැටී ඇති බවක් පෙනෙන කලැ සෙස්සවුන් ගැන කවර කතා ද?
මීට දශක දෙකහමාරකට පෙර 1998 දී ජේ. බී. දිසානායක සූරීන් ග්‍රීසියේ ක්‍රීට් නුවරට ගිය බව සැබෑ ය; එහි පැවැති සමුළුවකට සහභාගි වූ බවත් සැබෑ ය. එහෙත් එය හෝඩි සමුළුවක් නො වේ. ඒ වනාහි ජගත් විශ්වකේත සාමූහිකත්වය (International Unicode Consortium) විසින් ඇතැම් භාෂාවල විශ්වකේත සම්මත කිරීම සඳහා පැවැත්වුණු සමුළුවකි. විශ්වකේත පද්ධතියේ ලොව හැම භාෂාවකට ම අදාළ රූපාක්ෂර කේත ඵලකයක් (character code table) සහ රූපාක්ෂර නාමාවලියක් (character name list) ඇත. ජේ. බී. දිසානායක සූරීන් ප්‍රමිති ආයතනය වෙනුවෙන් ඒ සමුළුවට ගිය ශ්‍රී ලාංකික නියෝජිතයා ය.
සිංහලයනට යතුරු ලිවීමට ඇවැසි තාක් සියලු ම අක්ෂර (letters) සහ රූප (forms) නිරූපණය කරන සංකේත එහි ඇතුළත් කළ යුතු බැවින් මෙහි උත්කර්ෂයෙන් කියා ඇති ඥ යන බැඳි අකුර පමණක් නො ව තවත් බැඳි අකුරු, දුලබ අකුරු, අක්ෂරාංග (පිලි) මෙන් ම කුණ්ඩලිය ද ඊට ඇතුළත් කැරිණි. හෝඩියක් නොවන රූපාක්ෂර කේත ඵලකයක් වන මෙය 'ජාත්‍යන්තර සිංහල හෝඩිය' බව කියමින් තමා ජාත්‍යන්තරයේ දී සිංහල හෝඩියට ඥ යන අකුර අලුතින් එක් කළ බව කීමට සමුළුව හමාරයේ ශ්‍රී ලංකාවට පැමිණි ජේ. බී. දිසානායක සූරීහු පටන් ගත් හ.
මුලින් පුවත්පත්වලින් කී මේ කතාව පසු ව 'බසක මහිම', 'සිංහල රීතිය' වැනි පොත්වල ද පලිප්පු දමා කීවේ දැන් සිංහල හෝඩියේ අකුරු හැට එකක් බව කියමිනි. එහෙත් පරිගණක වාග්විද්‍යාවේ අබැටක තරම් දෙයක් හෝ දන්නා කෙනෙක් වුව ද විශ්වකේත රූපාක්ෂර කේත ඵලකය යනු හෝඩියක් නොවන බව දනිති. සිංහල විශ්වකේත රූපාක්ෂර ඵලකය සහ රූපාක්ෂර නාමාවලිය පහත වෙන වෙන ම පින්තූරවලැ දක්වමි. එය ඇරැඹෙන්නේ චන්ද්‍ර බින්දුවෙන් බවත් ඉවර වෙන්නේ කුණ්ඩලියෙන් බවත් පෙර කී පරිදි අක්ෂර නොවන බොහෝ සංක්ත එහි ඇති බවත් කාටත් පෙනෙනු ඇත.
මේ ඊනියා ජාත්‍යන්තර සිංහල හෝඩිය 'අං' යන්නෙන් ඇරැඹී 'කුණ්ඩලියෙන්' ඉවර වන අමුතු හෝඩියක් බව දැක මට මතක හැටියට මුනිදාස සෙනරත් යාපා සූරීන් කීවේ "මේක ජේ. බී. ගේ අං-වලිග හෝඩිය" කියා ය. මේ අං-වලිග හෝඩිය කිසි දා සිංහල අක්ෂර මාලාවක් නොවන බවත් මෙයට කවර සංකේතයක් එක් කළ ද එය සිංහල අක්ෂර මාලාවට සංකේතයක් එක් කිරීමක් නොවන බවත් සුනිල් දෑරංගල සූරීන් ගේ මෙන් ම ඔවුන් ගේ සටහන කියවා මුළාවේ වැටෙන්නවුන් ගේ ද දැනගැනීම පිණිස පෙන්වා දිය යුතු ය. ජේ. බී. දිසානායක සූරීන් ගේ මෘදු ගුණාකරය ද ආධුනිකානුග්‍රහය ද කෙරෙහි පූර්ණ ගෞරවයෙන් යුතු ව ම ඔවුන් මෙසේ හිතා මතා කතා ගොතා කියන කෙනකු බැවින් ජේ. බී. කෙසේ කියුවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතු බව අවධාරණය කරනු කැමැත්තෙමි.
අවසාන වසයෙන් කිය යුතු ව ඇත්තේ, 1. කිසි ම භාෂාවක රූපාක්ෂර කේත ඵලකය එබසෙහි ජාත්‍යන්තර හෝඩියක් නොවන බවත්, 2. එබැවින් ම ජාත්‍යන්තර සිංහල හෝඩිය කියා එකක් නැති බවත්, 3. කිසි දාක සිංහල හෝඩියට ඥ යන බැඳි අකුර එක් කැර නැති බවත්, 4. සම්මත සිංහල හෝඩියේ අකුරු ගණන 1989 දී සම්මත කළ පරිදි තව මත් අකුරු හැටක් පමණක් බවත් ය.
මේ කිසිවක් මා කී පලියට පිළිගත යුතු නැත. පරිගණක වාග්විද්‍යාව ගැන යමක් කමක් දන්නා Chamila Liyanage, Thamalu Piyadigama වැන්නවුන් ගෙන් ද විමසා බැලිය යුතු ය.