'ලබ්බ' යනු 'මල් පොකුර' බව මහාචාර්ය රත්නසිරි අරංගල සූරීන් පවසනවා. 337 වැනි සීගිරි ගීයෙහි ඒ පදය 'මල් පොකුර' යන අරුතින් යෙදී ඇති බව යි එතුමා දක්වන්නේ. එහෙත් 'ලබ්බ' යන්නෙහි ප්‍රකට අර්ථය 'ලබු ගෙඩිය' හෝ ලබු ගෙඩියක හැඩය ගත් 'අණ්ඩකෝශය' හෝ බව පැහැදිලි කරුණක්. ජන වහරේ ඊට සාධක තිබෙනවා.
337, 359 සීගිරි ගී දෙකේ පිළිවෙළින් 'ලබුයට්', 'ලබුයුක්' කියලා වචන දෙකක් තියෙනවා. වත්මන් වහරින් 'ලබුයට්' යන්න 'ලබ්බට' යනුවෙන් ද 'ලබුයුක්' යන්න 'ලබ්බක්' යනුවෙන් ද දක්වන්න පුළුවන්. මේ පද දෙකේ පොදු ප්‍රකෘතිය වන 'ලබු' යන්නට සෙනරත් පරණවිතාන සූරීන් 'flowering branch' (මල් පිපුණු කිනිත්ත) කියලා අර්ථ දක්වලා තිබෙනවා. මේ 'ලබු' යන්න සංස්කෘත භාෂාවේ 'ලම්බක' යන්නෙන් විකාශය වූ බව යි එතුමා දක්වන්නේ. සංස්කෘත භාෂාවේ 'ලම්බක' යන පදයෙහි 'flowering branch' යන අරුත ඇති බව මෝනියර් විලියම්ස් සූරීන් පෙන්වා දෙනවා. ඒ අනුව 'ලබුයට්', 'ලබුයුක්' සඳහා පරණවිතාන සූරීන් ගේ අරුත් දැක්වීම් ගැන සැකයක් නැහැ.
'ලම්බක' යන පදය සකස් වන්නේ සංස්කෘත භාෂාවේ 'ලම්බ්' යන ක්‍රියා ප්‍රකෘතියෙන්. 'ලම්බ්' යන්න 'එල්ලා වැටීම' (hanging, dangling) යන අරුත දෙන ක්‍රියා ප්‍රකෘතියක්. ලම්බ, ලම්බක, ආලම්බ, ආලම්බන ආදි පද සියල්ල නිපැයෙන්නේ එයින්. 'ලම්බකර්ණ' (ලැමැණි) නම් රාජ වංශයට ඒ නම ලැබුණෙත් 'එල්ලා වැටෙන' (ලම්බ) 'දෙ කන්' (කර්ණ) තුබුණු නිසා. ඒ අනුව සංස්කෘත භාෂාවෙන් 'ලම්බක' කියන්නේ 'මල් පිපී බර වීමෙන් එල්ලා වැටුණු කිනිත්තක්' ගැන. සිහිගිරි සිතුවම්වල දැක්වෙන ඇතැම් හිමිම්බුවන් අත එවැනි පිපුණු මලින් බර වී එල්ලා වැටෙන මල් කිනිති දකින්නට පුළුවන්. ඒ අනුව සීගිරි ගීවල 'ලබු' යනු හුදු මල් පොකුර ම නෙවෙයි.
කොහොම නමුත් දළදාව අරබයා 'ලබු' පදය පාවිච්චි කිරීම නිසා දැන් රක්ෂිත භාරයට පත් ව සිටින සේපාල් අමරසිංහ සූරීන් 'මලින් බර වුණු කිනිත්ත' යන අරුතින් එය යෙදුවා වෙන්න බැහැ. එතුමා ඒ පදය යොදන්නේ පැහැදිලි ව ම නිග්‍රහයක් අරමුණු කරගෙන බව එහි සහපාඨය (cotext) සහ සන්දර්භය (context) අනුව බැලුවා ම පෙනෙනවා. භර්තෘහරීන් කීවේ, "කේවල පදවලට අර්ථ නැහැ; පදයක් අර්ථ සම්පන්න වෙන්නෙ ප්‍රකරණයක යෙදුවා ම" කියලා. සේපාල් අමරසිංහ සූරීන් මේ පදය යෙදූ ප්‍රකරණය අනුව එයින් අරමුණු කැරුණේ ජන වහරේ එන ප්‍රකට අර්ථය බව පැහැදිලි යි. ඒ නිග්‍රහය සම්බන්ධයෙන් කුමක් කළ යුතු ද යන්න අධිකරණය තීරණය කරා වි.
යම් හෙයකින් සේපාල් අමරසිංහ සූරීන් සිය වාගාලාපවල 'ලබු' යන පදය යෙදුවේ සීගිරි ගීවල පැනෙන අරුතින් නම් එතුමා නඩුවෙන් නිදහස් කරලා ආණ්ඩුවේ විශ්වවිද්‍යාලයයක සිංහල අධ්‍යයනාංශයක සේවයේ පිහිටුවන්න වටිනවා. ඔය සා සම්භාව්‍ය භාෂා සාහිත්‍ය ඥානයක් තිබෙන අය යැවිය යුත්තේ හිරේට නෙවෙයි සරසවියට!