Wednesday, October 25, 2023

ඒ. ඒ. අභයසිංහ භාෂා ශාස්ත්‍රීය සම්ප්‍රදානය


කැලැණි සරසවි සිංහල අධ්‍යයනාංශයේ විශ්‍රාමික මහාචාර්යවරයකු වූ ඒ. ඒ. අභයසිංහ සූරීහු ස අසූ වසක් ආයු වළඳා 2023 ඔක්තෝබර 20 වැනි දා අභාවප්‍රාප්ත වූ හ. මේ ලිපිය ඔවුන් ගෙන් ඉටු වූ භාෂා ශාස්ත්‍රීය සම්ප්‍රදානය පිළිබඳ ඇගැයුමෙකි. 

1938 අප්‍රේල් 18 වැනි දා උපන් අදිකාරි ආරච්චිගේ අභයසිංහ සූරීහු කුලියාපිටි මැදි විදුහලෙන් පාසල් අධ්‍යාපනයත් පේරාදෙණි සරසවියෙන් හා යෝර්ක් සරසවියෙන් හා උසස් අධ්‍යාපනයත් ලැබූ හ. පේරාදෙණි විශ්වවිද්‍යාලයයේ දී ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධි පාඨමාලාව සඳහා ප්‍රධාන විෂයය ලෙස සිංහලත් උපවිෂයය ලෙස පාළිත් හදාළ ඔහු තුමූ ආචාර්ය ම. ව. සුගතපාල ද සිල්වා සූරීන් ඇසුරින් වාග්විද්‍යාව කෙරෙහි නැමීගත් හ. සුගතපාල ද සිල්වා සූරීන් ගේ අධීක්ෂණය යටතේ 1973 දී ඔවුන් සිදු කළ 'සිංහල භාෂාව පිළිබඳ පදිමවිචාරාත්මක අධ්‍යයනය' (A Morphological Study of Sinhalese) සඳහා එංගලන්තයේ යෝර්ක් විශ්වවිද්‍යාලයය ඔවුනට දර්ශනසූරී උපාධිය පිරිනැමී ය. අනතුරු වැ මවුබිමට පැමිණි අභයසිංහ සූරීහු කැලැණි සරසවි සිංහල අධ්‍යයනාංශයේ ආචාර්ය මණ්ඩලයේ සේවයට එක් වූවාහු කිහිප විටක් ම එහි ප්‍රධාන ධුරය ද හෙබැවූ හ. 

ව්‍යාකරණයත් වාග්විද්‍යාවත් කෙරෙහි වෙසෙස් ඇල්මක් තුබුණු අභයසිංහ සූරීන් සම්පාදනය කළ 'සිංහල භාෂාවේ සරල වාක්‍ය විභාගය' (1990), 'සිංහල භාෂාවේ සංකීර්ණ වාක්‍ය විභාගය' (1992), 'ව්‍යාඛ්‍යාන සහිත සිදත් සඟරාව' (1998) යන භාෂා ශාස්ත්‍රීය කෘති ද සේවාර්ජිත මහාචාර්ය ආර්. එම්. ඩබ්ලියු. රාජපක්ෂ සූරීන් සමඟ එක් වැ සංස්කරණය කළ භාෂා විඥාන 1 (1989), භාෂා විඥාන 2 (1992), භාෂා විඥාන 3 (2004) යන භාෂා ශාස්ත්‍රීය සංග්‍රහ ද ඔවුන් ගේ භාෂා ශාස්ත්‍රීය සම්ප්‍රදානය මොනොවට පළට කරයි. මීට අමතර වැ උපාධි පාඨමාලා සඳහා නිර්දිෂ්ට 'බුත්සරණ' (තෝරාගත් කතා), 'පරෙවි සන්දේශය', 'භූරිදත්ත - විධුර - වෙස්සන්තර ජාතක' යන සම්භාව්‍ය සාහිත්‍ය කෘති ද අභයසිංහ සූරීන් ගේ සැකැස්මෙන් නොයෙක් විටැ පළ විය. අප ගේ මේ ඇගැයුම සඳහා පාදක වන්නේ ඔවුන් ගේ භාෂා ශාස්ත්‍රීය කෘති කිහිපයක් පමණි.

අභයසිංහ සූරීන් ගේ ප්‍රකාශිත කෘති සමුදායය අතුරින් 'ව්‍යාඛ්‍යාන සහිත සිදත් සඟරාව' (1998) ඔවුන් ගේ මහාකෘතිය (masterpiece) ලෙස සැලැකීමේ වරදෙක් නො වේ. ඒ වනාහි විසි පස් වසක් සරසවි සිසුනට සිදත් සඟරාව ඉගැන්වීමෙන් ද ප්‍රවිවේකී වැ සිංහල පද්‍ය භාෂාව අධ්‍යයනය කිරීමෙන් ද අභයසිංහ සූරීන් පාදාගත් නැණ මිණි නිදහන යි. කව්සිළුමිණි කුසදාව, මුවදෙව්දාව, සසදාව යන සිංහල ගී පොත් තුනෙහි බසත් සීගිරි ගී බසත් විමැසිල්ලෙන් හදාරා සිදත් සඟරාවෙහි පැනෙන වියරණ විදි එකී සිංහල පද්‍යවල භාෂාව විග්‍රහ කිරීමෙන් සපයාගෙන ඇති බව ඔහු තුමූ නිදසුන් දක්වමින් පෙන්වා දෙති. එබැවින් සිංහල පද්‍ය භාෂාවට පරිමිත ව්‍යාකරණයක් වන සිදත් සඟරාව සමස්ත සිංහල භාෂාව විෂයයෙහි විස්තරාත්මක සප්‍රමාණතාවකින් (explanatory adequcy) යුක්ත නොවීම අරුමයක් නොවන බව අභයසිංහ සූරීහු පෙන්වා දෙති. පැදි බසෙහි වියරණය පිඬු කළ පොතෙකින් සමස්ත සිංහල භාෂා ප්‍රයෝගය ඉගැනීමට හෝ ඉගැන්වීමට හෝ හැකියාවෙක් නැත.

අභයසිංහ සූරීන් ගේ 'ව්‍යාඛ්‍යාන සහිත සිදත් සඟරාවේ' විශේෂත්වය වන්නේ එයින් සිදත් සඟරාවේ අඳුරු තැන්වලට එල්ල වන වාග්විද්‍යා ප්‍රභාධාරාව යි. සිදත් සඟරාවේ විභක්ති විග්‍රහය මීට එක් නිදසුනෙකි. සිදත් සඟරාව දක්වන නවවිධ විභක්ති විග්‍රහය අධික බවට තර්ක කෙරෙමින් විභක්තිවල කාර්යාර්ථ (functional nuances) නො තකා හැර හුදු රූපීය සාම්‍යය (formal similarity) අනුව සිංහල විභක්ති පද්ධතිය විභක්ති හයකට ඌනනය කළ කුමාරතුංග මුනිදාස සූරීන් ගේ ප්‍රවේශය විවේචනය කරන අභයසිංහ සූරීහු කාර්යාර්ථ අනුව විභක්ති නවයක් දැක්වූ සිදත් සඟරා විග්‍රහය නිදොස් බවට කරුණු දක්වති (පි. 166). අර්ථය සංස්ථිතික වාග්විද්‍යාවට අගෝචර යැ යි වාග්විද්‍යාඥයන් සිතූ විසි වැනි සියවස මුල් භාගයේ උත්පන්න වූ රූපීය ව්‍යාකරණය (formal grammar) අනුයමින් කුමාරතුංග සූරීන් කළ විභක්ති විග්‍රහයට වඩා සිදත් සඟරාව දක්වන විභක්ති විග්‍රහය කාරක ව්‍යාකරණය (case grammar) අනුවැ වඩාත් පරිපූර්ණ බව අභයසිංහ සූරීහු තර්ක කෙරෙති. මේ වනාහි සිංහල භාෂාධ්‍යයනයෙහි ව්‍යාවෘත කවුරුනුත් අවධානයට ගත යුත්තෙකි.

සිංහල භාෂාවේ විභක්ති විග්‍රහය පිළිබඳ අභයසිංහ සූරීන් ගේ වැදැගත් ම අදහස් පැනෙන්නේ ඔවුන් ගේ අප්‍රකාශිත දර්ශනසූරී උපාධි නිබන්ධය වන 'A Morphological Study of Sinhalese' කෘතියෙහි ය. ජනක වාග්විද්‍යාව (generative linguistics) යටතේ සී. ජේ. ෆිල්මෝර් (C. J. Fillmore) ඉදිරි පත් කළ කාරක ව්‍යාකරණය (case grammar) අනුයමින් සිංහල විභක්ති පද්ධතියේ අගාධ සංස්ථිතිය (deep structure) හා පෘෂ්ඨීය සංස්ථිතිය (surface structure) සම සැලැකිල්ලට ගෙන ඇති අභයසිංහ සූරීහු විභක්තිවල සියලු කාර්යාර්ථ අනුවැ සිංහල විභක්ති පද්ධතිය විබත් සොළොසක් දක්වා ව්‍යාප්ත කෙරෙති. මේ වනාහි සිංහල විභක්ති පිළිබඳ අධ්‍යයනය කළ විශ්‍රාමික මහාචාර්ය තිස්ස ජයවර්ධන සූරීන් ගේ 'Case in Sinhalese' (1971) නම් අධ්‍යයනයට ද වඩා පියවර කිහිපයෙකින් ප්‍රගාමි වූවෙකි. සිංහලයේ භාව කාරකය (stative voice) හෙවත් උක්ත රහිත සංස්ථාන (subjectless constructions) හරි හැටි විග්‍රහ කොටගැනීමට අපොහොසත් වැ ඒ ද උක්ත විභක්තියක් සේ දැක්වීමෙන් මඳක් දෝෂත්වයට පත් වැ ඇතත් අභයසිංහ සූරීන් ගේ විභක්ති විග්‍රහය ප්‍රශංසාර්හ වේ.

සිදත් සඟරා කර්තෘවරයා කාරක විග්‍රහ කිරීමේ දී ඒ සඳහා විභක්ති ඇසුරු කොට තිබීම කුමාරතුංග සූරීන් ඈ බොහෝ නූතන ව්‍යාකරණඥයන් ගේ විවේචනයට ලක් වැ ඇතත් විභක්ති ඇසුරින් කාරක දැක්වීම වනාහි විභක්ති අර්ථය (case meaning) කාරකය ලෙසත් විභක්ති රූපය (case form) විභක්තිය ලෙසත් වටහාගෙන සිදත් සඟරා කර්තෘවරයා කළ වැඩක් බව අභයසිංහ සූරීහු පෙන්වා දෙති. මේ වනාහි සී. ජේ. ෆිල්මෝර් සූරීන් ගේ කාරක ව්‍යාකරණයෙහි පදනම යි. ඔවුන් 'deep case' සහ 'surface case' යනුවෙන් විග්‍රහ කරන්නේ කාරක සහ විභක්ති අතර ඇති මෙකී අර්ථ-රූප සම්බන්ධය (meaning - form relationship) යි. සංස්කෘත ව්‍යාකරණයෙහි පවා නොපැනෙන මේ සම්බන්ධය සිදත් සඟරාවේ ස්වාධීන ලක්ෂණයෙකි. සී. ජේ. ෆිල්මෝර් සූරීන් කරක ව්‍යාකරණ සිද්ධාන්තය ගොඩ නැඟීමේ දර්ශනය ලද්දේ ජේම්ස් ද අල්විස් සූරීන් ගේ සිදත් සඟරා ඉංගිරිසි පරිවර්තනය කියැවීමෙන් දෝ හෝ යි අභයසිංහ සූරීහු ශංසය උපදවති (පි. 303). මේ වනාහි භාෂාධ්‍යයනයෙහි උනන්දු පශ්චාදුපාධි මට්ටමේ පර්යේෂකයකුට හඹා යා හැකි පිරියෙසුම් ගැටලුවෙකි. 

සිංහල සමාස පිළිබඳිනුදු අභයසිංහ සූරීන් ගේ වැදැගත් විග්‍රහයෙක් වෙයි. විභක්ති සමාස (case compounds) යනුවෙන් සිදත් සඟරාව විග්‍රහ කරන කිරිබත්, පොල්තෙල්, වැව් වතුර, මුහුදු මාළු ඈ සමාස වනාහි හුදු විභක්තියක ලෝපයෙන් සිද්ධ වූවක් නො ව වාක්‍යයක් නාම පාදයකට (nominal phrase) හැරැවීමෙන් ද එකී නාම පාදය විභක්ති ආදි ප්‍රත්‍යය ලෝපයෙන් කෝශීකරණයට (lexicalisation) ලක් කිරීමෙන් ද සිද්ධ වූ බව අභයසිංහ සූරීහු සිය දර්ශනසූරී උපාධි නිබන්ධයෙහි පෙන්වා දෙති (පි. 331). එනම් "කිරෙන් බත් උයනවා" යන වාක්‍යය "කිරෙන් උයන බත්" යනුවෙන් නාම පාදයකට පෙරැළී අනතුරු වැ විභක්ති ප්‍රත්‍යයය සහ අනතීත කෘදන්තය ලොප් වීමෙන් "කිරිබත්" යනුවෙන් නාම ප්‍රකෘති දෙකක අවම සංස්ථානයකට පත් වන බව යි. මේ වනාහි අන්තඃකේන්ද්‍රීය සමාසවල (endocentric compounds) අගාධ සංස්ථිතිය (deep structure) සහ ජනක ක්‍රියාවලිය (generative process) පිළිබඳ අගනා විග්‍රහයෙකි. සමාසයක් සහ එහි විග්‍රහ වාක්‍යය අතර සම්බන්ධය මෙයින් වඩාත් පැහැදිලි වේ. අභයසිංහ සූරීන් හැර අන් කිසිවකු මෙවැනි විග්‍රහයකට උත්සාහ දරා නැති බව අප ගේ නොවක් දැනුම යි.

සිංහල භාෂා විෂයයෙහි මේ සා ගම්භීර වාග්විද්‍යාත්මක අධ්‍යයන පර්යේෂණ සිදු කළ අභයසිංහ සූරීහු විශ්වවිද්‍යාලය සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරු වැ අධ්‍යයන පර්යේෂණ කෙරෙන් ඈත් වී බුදු දහම අනුව පිළිවෙත් පුරමින් පින් දහම් රැස් කළ හ. ඒ හැම පිනක් ම ඔවුන් පැතූ ඉහළ ම ලොව්තුරු සුවය ලැබීමට හේතු වේ වා යි අපි ප්‍රාර්ථනය කෙරෙමු. අවසන් විසින් සිහි පත් කළ යුත්තේ, වත්මනැ කැලැණි සරසවි සිංහල අධ්‍යයනාංශයේ කටයුතු කරන අභයසිංහ සූරීන් ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට ස්වකීය ගුරු දේවයන් උදෙසා කළ හැකි උත්තරීතර ම ගුරු උපහාරය වන්නේ අභයසිංහ සූරීන් පෑ භාෂාධ්‍යයන මාර්ගය තව තව ද අන්වේෂණය කිරීම බව යි. ඒ සඳහා ඔහු තුමූ උත්සුක වෙත් වා! 

[මේ ලිපිය සම්පාදනය කිරීම සඳහා ඒ. ඒ. අභයසිංහ සූරීන් ගේ ජීවන තොරතුරු ලබා දුන්, ඔවුන් ගේ අග්‍රශිෂ්‍ය, කැලැණි සරසවි සිංහල අධ්‍යයනාංශයේ විනේතෘ ජ්‍යේෂ්ඨ මහාචාර්ය නිමල් මල්ලවආරච්චි සූරීනට අප ගේ සාදර ස්තුතිය හිමි යි.]

- 2023 ඔක්තෝබර 25, බදාදා, 'අරුණ' ධාරා අතිරේකය

Monday, August 21, 2023

ජේ. බී. දිසානායක සූරීන් ගේ අං-වලිග හෝඩි මුළාව


සේවාර්ජිත මහාචාර්ය ජේ. බී. දිසානායක සූරීන් ජාත්‍යන්තර සිංහල හෝඩියට ඥ අක්ෂරය එක් කළ බවක් කියමින් සුනිල් දෑරංගල සූරීන් ලියා ඇති සටහන සම්පූර්ණයෙන් ම පාඨකයා නොමඟ යවනසුලු කරුණින් මුළාවට වැටී ලියා ඇති එකක් බව නො කියා බැරි ය. මේ වනාහි අප හිතවත් ජේ. බී. දිසානායක සූරීන් හිතා මතා ගොතා කියන කතාවකි. මේ කතාවෙන් සුනිල් දෑරංගල සූරීන් වැන්නවුන් පවා මුළාවට වැටී ඇති බවක් පෙනෙන කලැ සෙස්සවුන් ගැන කවර කතා ද? 

මීට දශක දෙකහමාරකට පෙර 1998 දී ජේ. බී. දිසානායක සූරීන් ග්‍රීසියේ ක්‍රීට් නුවරට ගිය බව සැබෑ ය; එහි පැවැති සමුළුවකට සහභාගි වූ බවත් සැබෑ ය. එහෙත් එය හෝඩි සමුළුවක් නො වේ. ඒ වනාහි ජගත් විශ්වකේත සාමූහිකත්වය (International Unicode Consortium) විසින් ඇතැම් භාෂාවල විශ්වකේත සම්මත කිරීම සඳහා පැවැත්වුණු සමුළුවකි. විශ්වකේත පද්ධතියේ ලොව හැම භාෂාවකට ම අදාළ රූපාක්ෂර කේත ඵලකයක් (character code table) සහ රූපාක්ෂර නාමාවලියක් (character name list) ඇත. ජේ. බී. දිසානායක සූරීන් ප්‍රමිති ආයතනය වෙනුවෙන් ඒ සමුළුවට ගිය ශ්‍රී ලාංකික නියෝජිතයා ය. 

සිංහලයනට යතුරු ලිවීමට ඇවැසි තාක් සියලු ම අක්ෂර (letters) සහ රූප (forms) නිරූපණය කරන සංකේත එහි ඇතුළත් කළ යුතු බැවින් මෙහි උත්කර්ෂයෙන් කියා ඇති ඥ යන බැඳි අකුර පමණක් නො ව තවත් බැඳි අකුරු, දුලබ අකුරු, අක්ෂරාංග (පිලි) මෙන් ම කුණ්ඩලිය ද ඊට ඇතුළත් කැරිණි. හෝඩියක් නොවන රූපාක්ෂර කේත ඵලකයක් වන මෙය 'ජාත්‍යන්තර සිංහල හෝඩිය' බව කියමින් තමා ජාත්‍යන්තරයේ දී සිංහල හෝඩියට ඥ යන අකුර අලුතින් එක් කළ බව කීමට සමුළුව හමාරයේ ශ්‍රී ලංකාවට පැමිණි ජේ. බී. දිසානායක සූරීහු පටන් ගත් හ. 

මුලින් පුවත්පත්වලින් කී මේ කතාව පසු ව 'බසක මහිම', 'සිංහල රීතිය' වැනි පොත්වල ද පලිප්පු දමා කීවේ දැන් සිංහල හෝඩියේ අකුරු හැට එකක් බව කියමිනි. එහෙත් පරිගණක වාග්විද්‍යාවේ අබැටක තරම් දෙයක් හෝ දන්නා කෙනෙක් වුව ද විශ්වකේත රූපාක්ෂර කේත ඵලකය යනු හෝඩියක් නොවන බව දනිති. සිංහල විශ්වකේත රූපාක්ෂර ඵලකය සහ රූපාක්ෂර නාමාවලිය පහත වෙන වෙන ම පින්තූරවලැ දක්වමි. එය ඇරැඹෙන්නේ චන්ද්‍ර බින්දුවෙන් බවත් ඉවර වෙන්නේ කුණ්ඩලියෙන් බවත් පෙර කී පරිදි අක්ෂර නොවන බොහෝ සංක්ත එහි ඇති බවත් කාටත් පෙනෙනු ඇත.

මේ ඊනියා ජාත්‍යන්තර සිංහල හෝඩිය 'අං' යන්නෙන් ඇරැඹී 'කුණ්ඩලියෙන්' ඉවර වන අමුතු හෝඩියක් බව දැක මට මතක හැටියට මුනිදාස සෙනරත් යාපා සූරීන් කීවේ "මේක ජේ. බී. ගේ අං-වලිග හෝඩිය" කියා ය. මේ අං-වලිග හෝඩිය කිසි දා සිංහල අක්ෂර මාලාවක් නොවන බවත් මෙයට කවර සංකේතයක් එක් කළ ද එය සිංහල අක්ෂර මාලාවට සංකේතයක් එක් කිරීමක් නොවන බවත් සුනිල් දෑරංගල සූරීන් ගේ මෙන් ම ඔවුන් ගේ සටහන කියවා මුළාවේ වැටෙන්නවුන් ගේ ද දැනගැනීම පිණිස පෙන්වා දිය යුතු ය. ජේ. බී. දිසානායක සූරීන් ගේ මෘදු ගුණාකරය ද ආධුනිකානුග්‍රහය ද කෙරෙහි පූර්ණ ගෞරවයෙන් යුතු ව ම ඔවුන් මෙසේ හිතා මතා කතා ගොතා කියන කෙනකු බැවින් ජේ. බී. කෙසේ කියුවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතු බව අවධාරණය කරනු කැමැත්තෙමි. 

අවසාන වසයෙන් කිය යුතු ව ඇත්තේ, 1. කිසි ම භාෂාවක රූපාක්ෂර කේත ඵලකය එබසෙහි ජාත්‍යන්තර හෝඩියක් නොවන බවත්, 2. එබැවින් ම ජාත්‍යන්තර සිංහල හෝඩිය කියා එකක් නැති බවත්, 3. කිසි දාක සිංහල හෝඩියට ඥ යන බැඳි අකුර එක් කැර නැති බවත්, 4. සම්මත සිංහල හෝඩියේ අකුරු ගණන 1989 දී සම්මත කළ පරිදි තව මත් අකුරු හැටක් පමණක් බවත් ය.

මේ කිසිවක් මා කී පලියට පිළිගත යුතු නැත. පරිගණක වාග්විද්‍යාව ගැන යමක් කමක් දන්නා Chamila Liyanage, Thamalu Piyadigama වැන්නවුන් ගෙන් ද විමසා බැලිය යුතු ය. 




Friday, February 3, 2023

කොම්පඤ්ඤ වීදිය ද? Slave Island ද? මඤ්ඤං ද?

වර්තමානයේ 'කොම්පඤ්ඤ වීදිය' යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශය සඳහා ඉංගිරිසියෙන් යොදන 'Slave Island' යන නාමය ඉවත් කිරීමට අගමැති ලේකම් තැන නියෝග පමුණුවා ඇති බව වාර්තා වේ. මේ වනාහි 'Slave Island' යනු 'වහල් දූපත' යන අරුත ඇති බැවින් ඒ ප්‍රදේශයේ ජීවත් වන්නන් වහලුන් නොවන බව ලොවට මුර ගා කීම සඳහා ඉතා දුර දක්නා නුවණින් කළ වැඩක් බව පෙනේ. එහෙත් ඒ සා දුර දක්නා නුවණක් නැති අපට මෙහි පෙනෙන්නේ ඉතිහාස ඝාතනයක් පමණි. 

පුරාණ කොළඹ නගරය පිළිබඳ තතු විමැසීමේ දී පැහැදිලි වන පළමු වැනි කරුණ නම් 'කොම්පඤ්ඤ වීදිය' යනුත් 'Slave Island' යනුත් සපුරා සමාන භූමි ප්‍රදේශයක් නොවන බව යි. 'Slave Island' යනු තුන් පසෙකින් බේරේ වැවෙන් වට වූ තරමක් විශාල භූමි ප්‍රදේශයෙකි. නමින් මැ ඇඟැවෙන පරිදි 'කොම්පඤ්ඤ වීදිය' යනු වීදියෙකි; 'Slave Island' යනු දූපතෙකි. වීදියක් හා දූපතක් හා දෙකක් බව නො දන්නෝ අග්‍රාමාත්‍ය කාර්යාලයයේ මිස අන් කොහි වෙත් ද? 

පුරාණ කොළොඹ නගර සිතියම් අනුව තහවුරු වන්නේ 'කොම්පඤ්ඤ වීදිය' යනු 'වහල් දූපතේ' එක් කොටසක් පමණක් බව යි. සම්පූර්ණ වහල් දූපතට දුම්රිය පොළ පිහිටි කොම්පඤ්ඤ වීදිය, ග්ලේනි වීදිය, මිව්ස් වීදිය, නව තොටුපොළ පාර යන ප්‍රදේශ කිහිපය ම අයත් වී තිබේ. ඒ අනුව වැඩි දෙනකු ගේ වැරැදි වහර අනුයමින් මුළු 'වහල් දූපතට' ම 'කොම්පඤ්ඤ වීදිය' කියන්නැ යි නියම කිරීම වනාහි මුළු ලක් දිවට ම කොළොඹ කියන්නැ යි නියම කිරීම වැන්න. 

ලන්දේසි බසින් 'කොම්පඤ්ඤෙ' (companhia) යන්න ඉංගිරිසි බසින් 'කම්පනි' (company) යන්න හා සම නිරුක්තික යි. මෙ තන්හි 'කම්පනි' යනු 'සමාගම' යන අරුත නො ව 'හමුදා ඛණ්ඩය' යන අරුත යි. ලන්දේසි යුගයේ දී මේ ප්‍රදේශයේ ලස්කිරිඤ්ඤ කොම්පඤ්ඤයක් (lascarine companhia) ස්ථානගත කොට තුබුණු බැවින් එය 'කොම්පඤ්ඤ වීදිය' යනුවෙන් වහරට පැමිණ තිබේ. හමුදා බැරැක්ක තුබුණු ප්‍රදේශයක් දූපතක් තරම් විශාල නැති බව කාටත් පැහැදිලි කරුණකි. 

ඉංගිරිසි යුගයේ දී 'Slave Island' යනුවෙන් හඳුන්වන ලද්දේ කොම්පඤ්ඤ වීදිය ද ඇතුළත් විසල් බිම් පෙදෙසක් බවත් එය තුන් පසෙකින් බේරේ වැවෙන් වට වී තුබුණු බවත් ඉහත කීවෙමු. මෙය 'Slave Island' නම ලද්දේ ලන්දේසි යුගයේ දී එහි කාපිරි වහලුන් සිරගත කොට සිටි බැවිනි. මේ කාපිරි වහලුන් දියෙන් පීනා පැන යාම වැලැක්වීම සඳහා බේරේ වැවේ කිඹුලන් ඇති කළ බව ද පතළ කරුණෙකි. කයිමන් දොරකඩට ඒ නම ලැබුණේ ද ලන්දේසි බසින් කිඹුලා 'කායිමන්' (kaaiman) යන නමින් හැඳින්වුණු බැවිනි. 

'කොම්පඤ්ඤ වීදිය' සේ ම 'Slave Island' යනුත් ඓතිහාසික ප්‍රවෘත්ති පාදක ස්ථාන නාම බවත් ඒ ස්ථාන නාමවලින් එකක් හෝ මකා දැමීම ඉතිහාසයේ එක් ප්‍රවෘත්තියක් මකා දැමීමට ගන්නා ප්‍රයත්නයක් බවත් අප ගේ නොවක් හැඟුම යි. ඉඳුරා කුල ඇඟැවුමක් ඇති බෙරවගොඩ, ඔලීගොඩ, රදාතොට වැනි ස්ථාන නාමයක් විනා මෙවැනි ඓතිහාසික ප්‍රවෘත්ති පාදක ස්ථාන නාමයක් නිරවද්‍ය කරන්නට යාම වනාහි ඉතිහාස ඝාතක අතිධාවනකාරි ක්‍රියාවක් බව අප ගේ මෘතිකත්වය යි. අගමැති ලේකම් තැන ගේ මේ නියමය අප පිළිගත හොත් අනාගතයේ දී 'කොළොඹ' නමින් මුළු 'ලක් දිව' හැඳින්වීමට ද නියෝග පැනැවෙන්නට බැරි නැත! 

මේක එහෙවු රට ය. 

------------------------

ගැට පදය: 

ලස්කිරිඤ්ඤ - මෙනම් පුර්තුගීසි, ලන්දේසි යුගවල දී ආක්‍රමණිකයනට සේවය කළ ස්වදේශික හමුදා හැඳින්වූ නාමය යි. අරාබි බසෙහි 'සෙබළා/ රකවලා' යන අරුත් දෙන 'අෂ්කාර්' (Askar) යන පදය ප්‍රභූත කොට ඇති මෙය පර්සියානු බසෙහි 'ලෂ්කාර්' (Lascar) යන්න හරහා පුර්තුගීසි බසට 'ලස්කිරිඤ්ඤෙ' (Lascarine) යනුවෙන් පිවිස ඇත. ස්වදේශිකයන් ගේ දෘෂ්ටි කෝණය අනුව මූ තුමූ සුද්දනට ගැති කම් කළ දේශද්‍රෝහි හමුදා ය.

Tuesday, January 10, 2023

ලබු ප්‍රශ්න විසර්ජනය

'ලබ්බ' යනු 'මල් පොකුර' බව මහාචාර්ය රත්නසිරි අරංගල සූරීන් පවසනවා. 337 වැනි සීගිරි ගීයෙහි ඒ පදය 'මල් පොකුර' යන අරුතින් යෙදී ඇති බව යි එතුමා දක්වන්නේ. එහෙත් 'ලබ්බ' යන්නෙහි ප්‍රකට අර්ථය 'ලබු ගෙඩිය' හෝ ලබු ගෙඩියක හැඩය ගත් 'අණ්ඩකෝශය' හෝ බව පැහැදිලි කරුණක්. ජන වහරේ ඊට සාධක තිබෙනවා.

337, 359 සීගිරි ගී දෙකේ පිළිවෙළින් 'ලබුයට්', 'ලබුයුක්' කියලා වචන දෙකක් තියෙනවා. වත්මන් වහරින් 'ලබුයට්' යන්න 'ලබ්බට' යනුවෙන් ද 'ලබුයුක්' යන්න 'ලබ්බක්' යනුවෙන් ද දක්වන්න පුළුවන්. මේ පද දෙකේ පොදු ප්‍රකෘතිය වන 'ලබු' යන්නට සෙනරත් පරණවිතාන සූරීන් 'flowering branch' (මල් පිපුණු කිනිත්ත) කියලා අර්ථ දක්වලා තිබෙනවා. මේ 'ලබු' යන්න සංස්කෘත භාෂාවේ 'ලම්බක' යන්නෙන් විකාශය වූ බව යි එතුමා දක්වන්නේ. සංස්කෘත භාෂාවේ 'ලම්බක' යන පදයෙහි 'flowering branch' යන අරුත ඇති බව මෝනියර් විලියම්ස් සූරීන් පෙන්වා දෙනවා. ඒ අනුව 'ලබුයට්', 'ලබුයුක්' සඳහා පරණවිතාන සූරීන් ගේ අරුත් දැක්වීම් ගැන සැකයක් නැහැ. 

'ලම්බක' යන පදය සකස් වන්නේ සංස්කෘත භාෂාවේ 'ලම්බ්' යන ක්‍රියා ප්‍රකෘතියෙන්. 'ලම්බ්' යන්න 'එල්ලා වැටීම' (hanging, dangling) යන අරුත දෙන ක්‍රියා ප්‍රකෘතියක්. ලම්බ, ලම්බක, ආලම්බ, ආලම්බන ආදි පද සියල්ල නිපැයෙන්නේ එයින්. 'ලම්බකර්ණ' (ලැමැණි) නම් රාජ වංශයට ඒ නම ලැබුණෙත් 'එල්ලා වැටෙන' (ලම්බ) 'දෙ කන්' (කර්ණ) තුබුණු නිසා. ඒ අනුව සංස්කෘත භාෂාවෙන් 'ලම්බක' කියන්නේ 'මල් පිපී බර වීමෙන් එල්ලා වැටුණු කිනිත්තක්' ගැන. සිහිගිරි සිතුවම්වල දැක්වෙන ඇතැම් හිමිම්බුවන් අත එවැනි පිපුණු මලින් බර වී එල්ලා වැටෙන මල් කිනිති දකින්නට පුළුවන්. ඒ අනුව සීගිරි ගීවල 'ලබු' යනු හුදු මල් පොකුර ම නෙවෙයි. 

කොහොම නමුත් දළදාව අරබයා 'ලබු' පදය පාවිච්චි කිරීම නිසා දැන් රක්ෂිත භාරයට පත් ව සිටින සේපාල් අමරසිංහ සූරීන් 'මලින් බර වුණු කිනිත්ත' යන අරුතින් එය යෙදුවා වෙන්න බැහැ. එතුමා ඒ පදය යොදන්නේ පැහැදිලි ව ම නිග්‍රහයක් අරමුණු කරගෙන බව එහි සහපාඨය (cotext) සහ සන්දර්භය (context) අනුව බැලුවා ම පෙනෙනවා. භර්තෘහරීන් කීවේ, "කේවල පදවලට අර්ථ නැහැ; පදයක් අර්ථ සම්පන්න වෙන්නෙ ප්‍රකරණයක යෙදුවා ම" කියලා. සේපාල් අමරසිංහ සූරීන් මේ පදය යෙදූ ප්‍රකරණය අනුව එයින් අරමුණු කැරුණේ ජන වහරේ එන ප්‍රකට අර්ථය බව පැහැදිලි යි. ඒ නිග්‍රහය සම්බන්ධයෙන් කුමක් කළ යුතු ද යන්න අධිකරණය තීරණය කරා වි.

යම් හෙයකින් සේපාල් අමරසිංහ සූරීන් සිය වාගාලාපවල 'ලබු' යන පදය යෙදුවේ සීගිරි ගීවල පැනෙන අරුතින් නම් එතුමා නඩුවෙන් නිදහස් කරලා ආණ්ඩුවේ විශ්වවිද්‍යාලයයක සිංහල අධ්‍යයනාංශයක සේවයේ පිහිටුවන්න වටිනවා. ඔය සා සම්භාව්‍ය භාෂා සාහිත්‍ය ඥානයක් තිබෙන අය යැවිය යුත්තේ හිරේට නෙවෙයි සරසවියට!