Friday, August 11, 2017

කුමරතුඟු මුනිදස් අත් අකුරු


මේ කුමරතුඟු මුනිදසුන් 1932 දී රැසැයූ "පරෙවි සන්දේශ විවරණයේ" මුල් පැහැරැවුමේ පළමු වැනි පිටුවේ සේයාරුවෙකි. මෙහි "ස්වදේශ මිත්‍රයා සංස්කාරක තුමාණනට තුටු පඬුරු" යි ලියා ඊට යටින් "මු. කු." යන කෙටි අස්සනත් "1932. 11" යන දිනයත් යොදා ඇත්තේ කුමරතුඟු මුනිදසුන් විසිනි. 

පසු ගිය දාක අපට මෙය හමු වූයේ කැලැණි සරසවි පොත් ගුලේ පුවසුරු D. J. විජයරත්න පොත් එකතුව පිරික්සූ විටෙක ය. කුමරතුඟු අත් අකුරුවලට පහළින් ඇත්තේ පුවසුරු D. J. විජයරත්නයන් ගේ මුද්‍රාව යි. "D. J. WIJAYARATNE, University of Ceylon, PERADENIYA" යනුවෙන් එහි සඳහන් වේ.

පේරාදෙණියේ ලක් සරසවියේ සිංහල පුවසුරුවකු ව සිටි D. J. විජයරත්නයන් බොහෝ දෙනා හඳුනන්නේ "History of the Sinhalese Noun" නම් ගත් රුවනෙහි කතුවරයා හැටියට ය. ඒ සැබෑ ගත් රුවනක් බවත් එහි කතුවරයා සැබෑ පඬි රුවනක් බවත් ඊට බැලුම් අසක් හෝ දුන්නාහු දනිති.

1932 නොවැම්බරයේ දී 'ස්වදේශ මිත්‍රයා' සකසුවනට කුමරතුඟු මුනිදසුන් තිළිණ කළ මේ පොත D. J. විජයරත්නයන් අතට පැමිණියේ කෙසේ දැ යි කියන්නට නම් අපි නො දනුමු.

විවියන් ද සිල්වා බොරලැස්ස


සී. ටී. ප්‍රනාන්දු, මොරිස් දහනායක, කාන්ති වක්වැල්ල, වින්සන් ද පෝල් පීරිස්, සිඩ්නි ආටිගල ඈ පරපුරෙහි මෙ තෙක් කල් දිවමන් වැ සිටි ජ්‍යේෂ්ඨතම ගායිකාව වූ විවියන් ද සිල්වා බොරලැස්ස සිංහල ගීත සාහිත්‍යයට අමරණීය ගී රැසක් තිළිණ කළ ප්‍රවීණ නිර්මාණ ශිල්පිනියකි. අසූ හය වසක් ආයු සංස්කාරය වින්දනය කළ ඕ තොමෝ පසු ගිය දාක සිය ජීවන ගීය නිමා කළා
විවියන් ද සිල්වා බොරලැස්ස
ය.

ඇය ගේ ජනප්‍රියතම ගීය වූයේ කාන්ති වක්වැල්ල සමග ගැයූ 'දුර පෙනෙන තැනිතලා' ගීය යි. ඊට අමතර වැ ඇය ගැයූ 'නවතින්න තිස්ස ඇයි මේ', 'සම්බුදු මංගල්ලේ', 'නංගී නංගී රූපිකා' වැනි ගීත ද ජනප්‍රසාදයට පාත්‍ර විය. ඉන් ඇතැම් ගීයෙක තනු හින්දී ගීත අනුකරණයෙන් නිමැවුණේ වුව විවියන් ගේ ගායනයෙහි වූයේ නිර්ව්‍යාජ සිංහල ස්වරයෙකි. 'දුර පෙනෙන තැනිතලා' ගී තනුවෙහි ඇති බටහිර ඌරුව යටපත් වන්නේ ද ඇය ගේ මේ සිංහල ගායනයෙනි.

වරක් විවියන් ගේ උපන් දිනයක් නිමිති කොටගෙන නුවන් නයනජිත් කුමාර ලියූ ඉතා හොඳ ලිපියක් 'සිළුමිණේ' පළ වූ බව මට මතක ය. විවියන් විවිසමින් ඒ ලිපිය ඉක්මවන යමක් ලිවීමට මට හැකියාවෙක් නැති. එ බැවින් හුදු පෞද්ගලික අනුභූතියෙකින් මේ සටහන නිමා කිරීමේ වරදක් නැතැ යි සිතමි.

විවියන් ද සිල්වා බොරලැස්ස ගේ අභාවය ඇසූ මොහොතේ මට සිහි වූයේ 2010 දී මෙ ලොව හළ මා ගේ මවු පස ආච්චි ය. ඇයට සිංහල ගීයක් ගයන ලෙස කුඩා කල මා ඇවිටිලි කළ නොයෙක් අවස්ථාවල ඇය ගැයුවේ විවියන් ගේ 'නංගී නංගී රූපිකා' ගීයත් 'සිනා සිසී නැග එන්නා සූර්‍යා උදේ' ගීයත් ය. 'නංගී නංගී රූපිකා' ගීය මා ආච්චි ගේ හඩින් ඇසුවේ විවියන් ගේ හඩින් අසන්නට බොහෝ කලකට පෙර ය. ඒ නිසා ඒ ගීය ඇසෙන වාරයක් පාසා මට මා ගේ ආච්චි මතක් වේ.

අසූ හය වැනි වියේ දී ජීවන ගීතය නිම කරන විවියන් ද සිල්වා බොරලැස්ස ද සෙනේබර ආච්චි කෙනෙකි. ඇය ද තම මුනුපුරු මිනිපිරියන් නළවන්නට මේ ගී කෙතෙකුත් ගයන්නට ඇති බව නිසැක ය. මාත් ඇයට නිවන් සුව පතන්නේ ඇය ගේ ගීයෙන් නැළැවුණු මුනුපුරකු වසයෙනි.