Monday, July 31, 2017

"අයාලේ ගිය සිතක සටහන්"

තිස්ස අබේසේකර
ඊයේ දවාලේ මා කිරිබත්ගොඩ සරසවි පොත්හලට පිවිසියේ වැඩි බලාපොරොත්තුවක් ඇති ව නො වේ. මින් පෙර ගාල්ලේ සරසවි පොත්හලින් ඒ පොත ගැන විමසා මා ලද උදාසීන ප්‍රතිචාරය මා සිතේ තිර ව රැඳී තිබිණි. එහෙත් කිරිබත්ගොඩ දී මට වාසනාව උදා විය. ටික වේලාවක් පොත් රාක්කයක් ඇවිස්සූ වෙළෙඳ සහායිකාවක් මා ඉල්ලූ පොත සොයාගෙන මා අත තැබුවා ය. ඉන් මා වත ප්‍රභාවත් වනු ඇය ද දකින්නට ඇත.

මා සොයා ගියේ තිස්ස අබේසේකර ගේ 'අයාලේ ගිය සිතක සටහන්' ය. මින් පෙර ඔහු ගේ චිත්‍රපට රසිකයකු වූ මා මුලින් ම ඔහු ගේ පාඨකයකු වූයේ ඊයේ දවාලේ ය. මා තිස්ස ගේ මේ පොත සොයන්නට වූයේ සී. ටී. ප්‍රනාන්දු ගැන ඔහු ලියා ඇති යමක් දැනගනු පිණිස ය. සී. ටී. ගැන තිස්ස මහත් අභිරුචියෙන් ලියා ඇති බව මා මීට බොහෝ කලකට පෙර දැනගත්තේ සුනිල් මිහිඳුකුල ගේ ලිපියෙකිනි. තිස්ස ගේ අදාළ ලිපිය 'අයාලේ ගිය සිතක සටහන්' නම් පොතෙක ඇති බව ආරඤ්චි වූයේ අන්තර්ජාලයේ සහෘදයකු ගෙනි.

මා තිස්ස ගේ පොත මහත් ආශාවෙන් කියවන්නට පටන් ගත්තේ මට අවශ්‍ය වී තුබුණු කරුණ සොයාගන්නට ‍ය. එහෙත් මට හමු වූයේ ඒ කරුණ පමණක් නො වේ. ඒ හා සබැඳි තව ද බොහෝ වැදැගත් කරුණු රැසක් ඉන් මතු විය. ආනන්ද සමරකෝන්, සුනිල් සාන්ත, සී. ටී. ප්‍රනාන්දු යන තිදෙනා ගේ සංගීත භාවිතයෙහි යම් පොදු සාධකයක් ඇති බව තිස්ස පෙන්වාදෙයි. එය මට ද බොහෝ කලකට පෙර හැඟුණු දෙයෙකි. එහෙත් ඒ කවරක් දැ යි ඉඳුරා ප්‍රකාශ කිරීමට තරම් සංගීත ඥානයෙක් මට නැත. සමරකෝන්, සුනිල්, සී. ටී. යන තිදෙනා මා ගේ ප්‍රියතම ගායකයන් වූයේ මේ පොදු සාධකය නිසා යැ යි මට දැන් සිතේ.

සිංහල ගීතයේ පංක්ති විෂමතාව පිළිබඳ ව තිස්ස සඳහන් කරන කාරණය ද කලකට ඉහත මටත් හැඟී තුබුණෙකි. එහෙත් තිස්සට තරම් විචාරශීලී ලෙස ඊට හේතු සාධක එළැවීමට තරම් සංගීත ඥානයක් තබා සමාජ ඥානයෙක් වත් මට නො වී. තිස්ස ඉතා මැනැවින් පෙන්වාදෙන පරිදි එක්තරා මාදිලියක සිංහල ගීත අගනුවර ආශ්‍රිත ඉහළ මධ්‍යම පංක්තියට රුචිකර වූයේ සිය පංක්තියේ අරුමෝසමක් වූ පියානෝවෙන් ඒ ගී වැයිය හැකි වීම නිසා පමණක් නො වේ. ඒ ගීතවල කිසි යම් පොදු ස්වර වගන්තියෙක් පැවැතීම ද ඊට හේතු වී ඇත. තිස්ස මේ බව අනාවරණය කොටගෙන ඇත්තේ 'මහගෙදර' චිත්‍රපටයට ගීයක් නිර්මාණය කිරීම සඳහා සරත් ප්‍රනාන්දුත් සමඟ වෙහෙසුණු අවස්ථාවේ දී ය.

උත්තර භාරතීය රාගධාරී සංගීතයේ මහාධිපත්‍යය රැකගනු පිණිස අවශේෂ සංගීත සම්ප්‍රදායයන් සාහසික ලෙස සමූල ඝාතනය කිරීමට එදිරිවීර සරච්චන්ද්‍ර, ඩබ්. ඩී. අමරදේව, එච්. ඩබ්. රූපසිංහ ආදි ප්‍රබුද්ධයන් උපාය යෙදූ සැටිත්, සුනිල් සාන්ත වැන්නවුන් සේ ම තිස්ස ද ඊට එරෙහි ව අනවරත අරගලයක යෙදුණු සැටිත් තිස්ස ගේ පොතේ මොනොවට සඳහන් වේ. සිංහල ගීත සාහිත්‍යයේ සමාජ ඉතිහාසය සොයන්නකුට එය දැනුම් නිදහනෙකි. සිංහල ගීතයේ පංක්ති විෂමතාවත්, සමරකෝන් - සුනිල් - සී. ටී. තිදෙනා ගේ පොදු සාධකයත් පිළිබඳ තිස්ස ගේ උපන්‍යාස තව දුරටත් පර්‍යේෂණීය බව මා ගේ කල්පනාව යි. ඒ සඳහා ‍යම් සංගීතඥයෙක් ඉදිරි පත් වේ නම් මම ඔහුට පුළුවන් උදවුවක් කරමි.