Sunday, April 10, 2016
නූතන සිංහලයා ගේ කණ පිට අවුරුදු සිරිත!
නූතන සිංහලයා තරම් කණ පිටට වැඩ කරන අන් කිසි ජාතියක් ගැන අපි නො දනුමු. කළ යුතු බොහෝ දෑ කණ පිටට කිරීම ඔහුට ඇබ්බැහියක් වී ඇත. කුමාරතුංග මුනිදාස, අනගාරික ධර්මපාල, E. W. අදිකාරම්, ගංගොඩවිල සෝම හිමි වැනි වියතුන් එ සේ කණ පිට ගැසූ බොහෝ දෑ හොඳ පිට ගැසිය යතු සැටි නොයෙක් වර පෙන්වා-දී තිබේ. එ හෙත් නූතන සිංහලයා ඒ කිසිවක් නෑසූ කනින් නුදුටු ඇසින් යුතු ව යෙහෙන් පසු වේ. ඔහු කණ පිටට කරන දෑ අතර ආගමික සහ සංස්කෘතික චාරිත්‍ර බොහෝවෙකි. සිංහල අවුරුද්ද ළඟ එන බැවින් මේ අවුරුද්දේ වත් හොඳ පිටට ඉටු කරනු පිණිස එක චාරිත්‍රයක් ගැන පමණක් ලියමු.
අවුරුද්දේ ප්‍රධාන චාරිත්‍රයක් පිළිබඳ ව අනාදිමත් කලෙක පටන් පඤ්චාංග ලිතේ සඳහන් වන්නේ ‘වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම, ආහාර අනුභවය’ යන පිළිවෙළට ය. ලිතේ ඇත්තේ කෙ සේ වෙතත් නූතන සිංහලයා මේ චාරිත්‍රය ඉටු කරනුයේ රූප පෙට්ටියේ පෙන්වන හැටියට ය. එ නම් ‘ආහාර අනුභවය, ගනුදෙනු කිරීම, වැඩඇල්ලීම’ යන පිළිවෙළට ය. මේ නිසා බොහෝ අය නැකැතට කිරිබතුත් කා, ගනුදෙනුත් කොට අන්තිමට වැඩ අල්ලන විට නැකැතට ගෙවී ගොස් හමාර ය. ලිතේ සඳහන් පිළිවෙළත් වැඩේ කැරෙන පිළිවෙළත් පරස්පර බව නූතන සිංහලයා මොහොතකට වත් සිතන්නේ නැත. ඇබ්බැහියෙන් කරන දෑ ගැන අමුතුවෙන් සිතීම ඔහුට පුරුදු නැත.
සිංහල අවුරුදු චාරිත්‍ර බොහොමයකින් සංකේතවත් වනුයේ ආදි සිංහලයා ගේ සාම්ප්‍රදායික ජන ජීවිතයේ විවිධ අවස්ථා ය. ‘වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය’ පිළිබඳ චාරිත්‍රයත් එ සේ ය. මෙහි පෙළගැස්මේ තාර්කික පදනමක් ඇත. ගොවිතැන පුරුදු ආදි සිංහලයා මුලින් ම වගා කරයි. ඉන් පසු ඒ භවභෝග නෙළා ගනියි. අවසන් විසන් ඒ භවභෝග පරිභෝජනය කරයි. මේ චාරිත්‍රයෙන් සංකේතවත් වන්නේ ඒ ක්‍රියා පටිපාටිය යි. පළමු ව වැඩ කළ යුතු ය. අස්වනු වේ වා මිල මුදල් වේ වා උපයා-ගත හැක්කේ වැඩ කළ හොත් පමණි. අනතුරු ව එ සේ උපයා-ගත් දෑ පරිභෝජනය කළ හැකි ය. ඒ නිසා පළමු වැනි ව කළ යුත්තේ වැඩඇල්ලීම යි. දෙ වැනි ව කළ යුත්තේ ගනුදෙනු කිරීම යි. ආහාර අනුභවය කළ යුත්තේ තුන් වැනි ව ය.
එ හෙත් දැන් මුළු සිංහල ජාතිය ම මහා බඩජාරි රැළක් සේ නැකැත ලැබූ විගස කිරිබත් ගිල දමන්නට පුරුදු වී සිටිති. කී දෙනෙක් නැකැත ලැබූ සැණින් වැඩ අල්ලත් දැ යි මම නො දනිමි. ‘සිංහලයා මෝඩයා - කැවුම් කන්න යෝදයා’ යි යටත් විජිත ස්වාමීන් කියා ඇත්තේ නිකම් නො වන බව තේරෙන්නේ මෙ වැනි කණ පිටට කරන වැඩ ගැන කල්පනා කරන විට ය.
Subscribe to:
Posts (Atom)