Saturday, September 26, 2015

සිප්විදු සක්විති ඊලියන් ද සිල්වා




තොටවත්ත දොන් මනුවෙල් ඊලියන් ද සිල්වා
(1926. 10. 31 - 2015. 09. 23)
සිප්විදු සක්විති ඊලියන් ද සිල්වාණෝ 2015 සැප්තැම්බර 23 වැනි දා පෙර වරුවේ අභාවප්‍රාප්ත වූ හ. මිය යන විට 89 වැනි වියේ පසු වූ එතුමාණෝ වෛද්‍ය මල්ලිකා ද සිල්වා මැතිනිය ගේ සැමියාණෝ ද වරුණ තොටවත්ත මහතා ගේ පියාණෝ ද වූ හ. නැසීගිය ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂ ටයිටස් තොටවත්තයන් ඇතුළු සහෝදර-සහෝදරියන් සිවු දෙනකු ගේ සොහොවුරකු වූ එතුමාණෝ වෘත්තියෙන් විදිලි මැවිසුරුවකු (electrical engineer) වූ අතර සිංහල භාෂාවට අනුපමේය සේවාවක් ඉටු කළ විද්වතෙක් ද වූ හ.

අගනුවර ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වූ T. G. M. ජුලියස් ද සිල්වා පියාණනට දා ව සිසිලියා සෙට්ටිනායක මෑණියන් ගේ කුසින් 1926 ඔක්තෝබර 31 වැනි දා මෙලෝ එළිය දුටු තොටවත්ත දොන් මනුවෙල් ඊලියන් ද සිල්වාණෝ කොළොඹ ආනන්ද විද්‍යාලයයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබ උසස් අධ්‍යාපනය පිණිස ලංඩන සරසවියට බැඳී එහි දී විදිලි මැවිසුරුවම පිළිබඳ විද්‍යාවේදී උපාධිය ලැබූ හ. අනතුරු ව එක්සත් රජදහනේ විදිලි මැවිසුරු හවුල විසින් ද සිරි ලක විදිලි මැවිසුරු හවුල විසින් ද වර ලත් විදිලි මැවිසුරුවකු ලෙස පිළිගැනුණු එතුමාණන් ලංකා විශ්වවිද්‍යාලයයේ විදිලි මැවිසුරුවම ඉගැන්වීම ඇරැඹූ අලුත එහි කථිකාචාර්යවරයකු ලෙස ද සේවය කොට තිබේ.

1954 දී මැවිසුරුවකු ලෙස රජයේ විදිලි අදිකාරියේ සේවයට එක් වූ ඊලියන් ද සිල්වාණෝ විද්‍යා තාක්ෂණික සංකල්ප සිංහලයෙන් පෑමේ අවශ්‍යතාවට මුහුණ දුන්හ. හෙළ හවුලේ සාමාජිකයකු මෙන් ම කුමාරතුංග මුනිදාසයන් ගේ භාෂා සංස්කෘතික චින්තනයේ ප්‍රබල අනුගාමියකු ද වූ එතුමාණෝ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව තැනූ පාරිභාෂික පදවල නුසුදුස්ස දුටුවාහු නවමු සිංහල සිප්යුරු වදන් (technical terms) තුන්දහස් හාරසියයකට (3400) අධික සංඛ්‍යාවක් තනා නූතන සිංහල වාක්කෝශය පෝෂණය කළහ. පිරිපහදුව (refinery), රැහැන (wire), තලබමනය (turbine), මනුව (meter), වහරුව (switch), පිලිසිය (fuse), තෙකලා (three phase), ඛෙදෑරුම (distribution), පිරිතෙල් (petrol), ලිහිසි තෙල් (lubricant oil), බල පොළ (power station), පිරැවුම් පොළ (filling station), උපසිරැසි (subtitle), හඬකැවීම (dubbing), සැකිලිරූ (cartoon), අදියුරුවම (direction), පිළිසැරුම (recycle) යනු එතුමා විසින් තනන ලද වදන් ගොන්නෙන් කිහිපයක් පමණි.

කුමාරතුංග මුනිදාස, සුචරිත ගම්ලත් යන විද්වතුන් දෙදෙන හැරුණු කොට මේ සා විශාල වදන් සංඛ්‍යාවක් සිය බසට එක් කළ තවත් විද්වතතෙක් හමු නො වේ. ඊලියන් ද සිල්වාණන් තරම් ගැඹුරට සිංහලයත් ඉංගිරිසියත් මැවිසුරුවමත් දන්නා අන් කිසි දු මැවිසුරුවකු ගැන තමන් නො දන්නා බව අරීසෙන් අහුබුදුවෝ වරෙක සඳහන් කළහ. සිංහල සිප්යුරු වදන් තැනීමේ ලා ඊලියන් ද සිල්වාණන් අනුගමනය කළ පද සාධන පිළිවෙත් වනාහි විධිමත් ශාස්ත්‍රාලයීය අධ්‍යයනයකට විෂයය විය යුත්තෙකි.

ආදි සිංහලයා ගේ ශිල්ප තාක්ෂණික ඤාණය පිළිබඳ ව පර්යේෂණ කළ එතුමාණෝ පරිසර හිතකාමී තාක්ෂණික ලෝකයක් සඳහා සාම්ප්‍රදායික ඤාණය උපයුක්ත කොටගත හැකි අයුරු මැනැවින් පෙන්වාදුන්හ. වර්තමානයේ ප්ලාස්ටික් බැරලයක් ලෙස මහා පරිමාණයෙන් නිෂ්පාදනය කොට අළෙවි කැරෙන සිලිණ්ඩරාකාර කාබනික පොහොර පරිවර්තකයේ නිර්මාතෘවරයා වූයේ ද ඊලියන් ද සිල්වාණන් බව බොහෝ දෙනා නො දනිති. මේ නිර්මාණය සඳහා එතුමාණෝ ජනාධිපති සම්මානයෙන් ද පිදුම් ලැබූ හ. සම්මාන ලද පුවත සැළ වූ විට ඊලියන් ද සිල්වාණන් එය ප්‍රතික්‍ෂේප කෙළේ “මගේ කුදු මෙහෙය ඔබ ගේ සොම්නසට හෙය වී නම් ඒ පමණි. තව කුමකට යැ සම්මාන?” කියමින් බව එවක පරිසර අමාත්‍යංශයේ ජ්‍යේෂ්ඨ සහාය ලේකම් පදවිය හෙබැවූ සුනිල් සරත් පෙරේරාණෝ සිහි කරති. වරක් හෙළ හවුල විසින් ‘හෙළ බස් මිණි’ සම්මානය ප්‍රදානය කරන්නට සැරැසුණු අවස්ථාවේ එතුමාණන් එය ප්‍රතික්‍ෂේප කෙළේ ද එවැනි ම ප්‍රතිචාරයක් දක්වමින් බව සඳහන් වේ. සම්මාන පසු පස හඹා ගොස් මානය පුම්බාගන්නා පුහු පඩිවරුන් බහුල මෙකල ඊලියන් ද සිල්වාණෝ සැබෑ පඬි රුවනෙකි.

මැවිසුරුවකු ලෙස සිය වෘත්තීය ජීවිතයේ හිණිපෙත්තට ම නැඟි ඊලියන් ද සිල්වාණෝ රජයේ විදිලි අදිකාරියේ මැවිසුරුවකු ලෙස ද, ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාවේ ප්‍රධාන මැවිසුරු ලෙස ද, ලංකා ට්‍රාන්ස්ෆෝමර සමාගමයේ කළමනාකාර අධ්‍යක්‍ෂ ලෙස ද, ඩුබායි රජයේ වෛද්‍ය හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ උපප්‍රධාන මැවිසුරු ලෙස ද සේවයෙහි නියුතු වූවෙකි. කලක් ශ්‍රී ලංකා ගුවන්විදිලි සංස්ථාවේ සහ ලංකා පොල් සැකැසුම් මඬුල්ලේ ද සභාපති වූ එතුමා එක්සත් ජාතීන් ගේ සංගමයේ සමුළු කිහිපයෙක දී ම ලංකා රජයේ නියෝජිතයා ද විය. ‘කුමරතුඟු අමර වැකි’ සහ ‘සිංහළයෙන් සිප්යුරු වදන්’ යනු එතුමාණන් විසින් විරචිත කෘති ද්වයය යි. ඉහත දෙ වැනියට කී කෘතිය එක්සත් ජාතීන් ගේ යුනෙස්කෝ ශාස්ත්‍ර සංග්‍රහයෙහි (UNESCO, ABD Journal 2003, Vol. 33, No. 3) ඇගැයුමට ලක් කොට තුබුණේ ‘ලක් දිවින් එළි දුටු මාහැඟි පබඳක්’ ලෙසිනි.

ඊලියන් ද සිල්වාණන් ගේ ජීවිතයේ අවසාන භාගයේ දී හෝ ඔවුන් ඇසුරු කරන්නට ලැබීම මා ලත් මහත් භාග්‍යයෙකි. මේ සටහන අගට ඔවුන් හා ඇසුර පිළිබඳ පෞද්ගලික අනුභූතියක් එක් කිරීමට මා සිත බල කරයි. 2012 වසරේ එක්තරා දිනෙකි. හෙළ හවුලේ සකසුරුවන් දෙපොළ හා එක් ව මම ඊලියන් ද සිල්වාණන් බැහැ දැකීමේ අටියෙන් කිරිල්ලපනේ පිහිටි ඔවුන් ගේ නිවෙසට ගියෙමි. ඉන් පෙර කිහිප විටක් දුරබණුයෙන් කතාබස් කිරීමෙන් ද කුමරතුඟු සමරුවෙක දී හමු වී කතාබස් කිරීමෙන් ද ඔවුන් දැනහැඳින සිටි මට එදා මුළු හවස් වරුව ම ඊලියන් ද සිල්වාණන් හා දෙඩුමෙන් ගෙවාදැමීමේ භාග්‍යය ලැබිණි. අප ඔවුන් ගේ සමාගමය ප්‍රිය කළ තරමට ම ඔවුන් ද අප ගේ සමාගමය ප්‍රිය කළ බවෙක් පෙනිණි. 

බස ගැනත් හෙළ හවුල ගැනත් බොහෝ වේලා කතාබස් කළ අප තිදෙන ආ පසු නිවෙස් බලා යන්නට සැරැසෙන විට වටින් ගොඩින් කළුවර වැටෙමින් තිබිණ. අපට සමු දීම සඳහා සැරයටියේ වාරුවෙන් දොරකඩට ම ආ ඊලියන් ද සිල්වාණෝ ගාල්ලේ සිට තකහනියක් පැමිණ සිටි මා දෙස විමැසිල්ලෙන් බලා “රෑ වෙලා නේදැන් කොහොම ද ඔබ ගාලු යන්නේ?” යි ඇසූ හ. මා ඊට පිළිතුරක් දීමට කලින් ම “ආ! දැන් අර මොකක් ද ලොකු පාරක් හදලා තියෙනවා නො වැ” යි කී ඔහු තුමූ ඒ පාරේ නම අමතක සෙයක් පෑ හ. ඒ දක්ෂිණ අධිවේග මාර්ගය හැදූ අලුත යි. මම “අධිවේග මාර්ගය” යන නම ඔවුනට මතක් කැරැදිනිමි. ඒ වදන ඇසුණු වහා මහත් සේ සිනහ පහළ කළ ඊලියන් ද සිල්වාණෝ “ඔය කිව්වේ! අදිවේගි මාර්ග! එහෙම නෙවෙයි; ලහි ලහියේ යන මඟ ‘ලහි මඟ’! සිංහලයෙන් හිතන්න පුරුදු වෙන්න” යි මට කී හ. මම ඒ ඔවදන සිතෙහි දරා-ගෙන ඔවුන් පා නැමැඳ සමු ගතිමි. ඔවුන් ගේ පොතෙහි ඇතුළත් නො වූ ‘ලහි මඟ’ වැනි තවත් මනහර සිප්යුරු වදන් කෙතෙකුත් සිතේ තිඛෙන්නට ඇද්ද?

හෙළ දෙස බස රැස වෙනුවෙන් අනුපමේය අමිල සේවාවක් කළ සිප්විදු සක්විති ඊලියන් ද සිල්වා සූරීනි, අපි ඔබට නිවන් නො පතමු. අඩපණ වූ මහ මෙහෙය නැවැත පණ ගන්වනු වස් ඔබ යළි දු හෙළ දිව පහළ වන තුරු අපි පෙර මඟ බලා-සිටුමු.