Sunday, July 22, 2012

සත්ත්වෝද්‍යාන ප්‍රශ්නය



'සත්තු වත්ත’ සහ ‘සතුන් වත්ත’ යන වදන්වලැ දොස් හැරැ පාමින් විජයපාල වීරවර්ධනයන් සැපැයූ ලිපියත්, ‘තිරිසන් උයන’ සිහිකොටැ දෙමින් හේමසිරි කුමාරණතුංගයන් සැපැයූ ලිපියත්, ‘සත්ව උයනෙහි’ වරද කියා පාමින් 2011ක් වූ නොවැම්බර 06 වැනි දා ‘පුන්කලසට’ පේරාදෙණි සරසවියේ දිලිනි ආරියවංශයන් සැපැයූ ලිපියත් කියැවූ අපට මෙසේ අදහස් දක්වනු රිසි වියැ.

'සත්තු වත්ත’ සහ ‘සතුන් වත්ත’ යන යෙදුම් සදොස් යැ යි විජයපාල වීරවර්ධනයන් දරන අදහස හා අපිදු එක හෙළා මැ එකඟ වෙමු. ඒ වදන් වෙනුවට ‘සත්ව උයන’ යැ යි කිව හැකි බවක් ද එතුමෝ එහි ලා පවසත්. එතුමන් දක්වන ‘සත්ව උයනෙහි’ වැරැදි දෙකෙක් වේ. පළමුවැන්න නම්; ‘සත්ව‘ යන්න යි. අද බොහෝ දෙනා ලියන්නේ මෙ සේ බව සැබෑවෙකි. ඒත් මේ වදන නිපැදෙන සැටි විමසා බැලුවොත් දොස පෙනේ:

සත්+ත්ව > සත්ත්ව

'සත්ත්ව' යන වදන නිපැදෙනුයේ එසේයි: ‘සත්’ යන නමු මුලට (නාම මූලය = Nominal Root) 'ත්ව' යන පස (ප්‍රත්‍යය= Suffix) ගැන්වීමෙනු යි. එබැවින් ‘සත්ව‘ යැ යි එක් ‘ත්’ යන්නක් පමණක් ලිවීම වැරැදි යැ.'තත්+ත්ව > තත්ත්ව' යනුවෙන් නිපැදෙන වදනත් මෙ බන්දෙකි.

දෙ වැනි වැ හැරෙමු දිලිනි ආරියවංශයන් ගේ අදහස වෙතට. වීරවර්ධනයන් දක්වන ‘සත්ත්ව උයන’ අවසදෙකැ (අපශබ්දයෙකැ) යි ඕ පවසන්නී යැ. සැබෑවෙකි. 'සත්ත්ව' යනු සකු වදනෙකි; ‘උයන’ යනු හෙළ වදනෙකි. මේ දෙක එකට පෑහීම නොමැනැවි බව නිදසුන් රැසක් පාමින් ඕතොමෝ පෙන්නා දෙන්නී යැ. සකු වදන් - සකු වදන් සමඟ ද හෙළ වදන් - හෙළ වදන් සමඟ ද ගළපා-ලීම යැ, රීතිය. අපේ ගුරුවරු එය ‘අනුරූප ශබ්ද සංයෝගය යැ’ යි හැඳින්වූ හ.

එ සේ නම් ’Zoo’ යන්න හැඳීන්වියැ යුතු නිවැරැදි යෙදුම ‘සත්ත්වෝද්‍යානය’ නො වේ දැ යි යමෙකුට හැඟෙනු ඇත. ඒ හැඟුම ද වරදින් තොර නැති බව අපේ අදහසයි. ‘සත්ත්ව‘ යන කුලකය ගත් කලැ ඊට තිරිසනුන් මෙන් මැ මිනිස්සු ද ඇතුළත් වෙති. බුදු දහම අනුවැ ගත්ත ද දිවිලකුව (Biology) අනුවැ ගත්ත ද මිනිසාත් 'සත්ත්වයෙකි'. එහෙත් ඊ නියා ‘සත්ත්වෝද්‍යානයේ’ එක දු කූඩුවෙකැ මිනිස්සු නැති.

අදින් දසක කීපයකට මැ පෙරැ මේ වරද දුටහ, කුමරතුඟු මුනිදස් බසිසුරාණෝ. 'Zoo’ යන්නෙහි අරුත නුවණින් විමසා සැලැකූ ඔහු, ‘තිරිසන් උයන’ යන වදන දැයට දුන්හ. වීරවර්ධනයනට පිළිතුරු දෙමින් හේමසිරි කුමාරණතුංගයෝ පසුගිය දාකැ මෙ වදන නැවැතත් පෙන්නා දුන්නෝ යි. අරුත අතින් සලකා බැලූ කලැ 'Zoo’ යන්නෙහි අරුත ඉඳුරා මැ ‘තිරිසන් උයනින්’ පැවැසේ. කිසි අඩුවෙක් වැඩියෙක් නැති; හොඳ සිංහළ යෙදුමෙකි.

එහෙත් වහර අතින් සලකා බැලූ කලැ යම් ගැටලුවෙක් පෙනේ. මඳකට සිතා බලමු. “අපි තිරිසන් උයන බලන්නට යමු දැ”යි යමෙකු ගෙන් ඇසුවොත් ඔහු කුමක් කියත් ද? “ඒ මොන ජරා තැනක් දැ?”යි අසා වි.
අදින් වසරකට පමණ පෙරැ ‘පුන්කලසට’ සැපැයූ ලිපියෙකින් අපි නවමු වදන් වැළක් මැ පෙන්වා දුනුමු. ’Zoo’ යන අරුත දෙන ‘පශූද්‍යානය’ ද ඒ අතරැ වී. ‘තිරිසන්’ යන අරුත දෙන ‘පශු’ නම් සකු වදනත් ‘උයන’ යන අරුත දෙන ‘උද්‍යානය’ යන්නත්, සකු සම සර දිගු සඳින් (සංස්කෘත සමාන ස්වර දීර්ඝ සන්ධියෙන්) ඈඳූ කලැ ‘පශුද්‍යානය’ ලැබේ. මේ බලන්නැ:

පශු+උද්‍යානය > පශුද්‍යානය

කුමරතුඟුන් ගේ යෙදුම මෙන් නො වැ කිසි හිරියක් කිතියක් නැති වැ මෙය වහරෙහි දු යෙදියැ හැකි, අපූරුවට. මඳ හෝ දොසක් විසින් දැක්කැ හැක්කේ, මෙය සකු යෙදුමක් වීම යි. ‘සුනඛ’, ‘තාක්ෂණ’ වැනි වියරු සකු වදන් වහරෙහි යොදන පඬුවන් සිටින මෙ රටේ ‘පශුද්‍යානය’ වැනි සුසරි සකු වදනක් වහරට වද්දා-ගැනීමෙන් ඉමහත් හානියක් නො වන බව අප අදහස යි.

අපි කුමරතුඟුන් තැනූ ‘තිරිසන් උයන’ ඉවතැ නො ලමු. රිසියෝ වහරත්වා. අප දුටුවේ උදෙක් මැ එබන්දක් වැහැරීමේ අපාසුව යි. අප කුමරතුඟුන් ගේ වහර අනුයනුයේ එතුමන් ගේ දසුනට ද හැකිතාක් බුහුමන් කෙරෙමිනි. එ බැවින් පොරණුන් කළ කී දේ සැම ඒ පැරැණියාව නිසා මැ පිළිගැනීම අපේ පිළිවෙත නො වේ. ‘විරිත් වැකියේ’ පිවිසුමෙහි කුමරතුඟුන් සැඳැහූ රුවන් වැකියෙකින් මෙ පබඳ නිමවමු.


"පොරණුන් කළ කී දේ හැම - මුඳුන’ත් දී පිළිගැනීම
තිරිසන් බව මිනිස් බවට - වැඩි යැ යි වැනි කියා පෑම
එහෙයින් ඔබ හිස් ද නොහිස් - බව දක්වන්නට ඉතා ම
නිසි වන්නේ මෙහි පැවැසුණු - දෑ නුවණින් පිරික්සීම”



(සත්ත්වෝද්‍යානය යන වදන නිවැරැදි දැ යි විමසමින් සිළුමිණ පතෙහි පුන්කලස අතිරේකයෙහි පැනුණු වාදයකට අප විසින් සැපැයුණු ලිපියෙකි. 2011 දෙසැම්බර 18 වැනි දා පතෙහි මේ පළ වියැ.) 

පසු සටහන :

දැන් අප ගේ අදහස මෙයිනුදු වෙනසි. ඉංගිරිසියේ 'Zoological Garden' යැ කියන තැනැ සියල් වගෙහි තිරිසන්නු නො වෙසෙත්. ගෙවැසි තිරිසන්නු කිසිවෙක් එහි නැති. එබැවින් පශූද්‍යානය යනුදු සීහෙන නමෙක් නො වේ. දැන් අපට හැඟෙන්නේ වනසත් උයන යනුවෙන් කීම මැනවි බව යි. වන සතුන් පමණක් සිටින තැන වනසත්  උයන මිසැ අනෙකෙක් වනුයේ කෙසේ ද ? Zoo නම් අපට වනසත් උයන මැ යැ.

Saturday, June 16, 2012

හෙළ - පෙළ හා සකු එක මැ භාෂා පවුලෙකි

හෙළ බස හා සකුවත් පාළියත් මුසු වීම ගැනැ වියත්හු විවිධ මත දරති. අයෙක් සිංහළය වැඩුණේ පාළියක් සකුවක් නැති වැ මැ යි කියති. තවත් අයෙක් සිංහළය බිහි වුණේ පාළියත් සකුවත් නිසා මැ යි කියති.
කෙ සේ වතුදු සිංහළ බසැ නැඟුමට හා වැඩුමට පාළියත් සකුවත් බොහෝ උදව් වියැ. එසේ වූ පමණින් මැ සිංහළය, පාළියත් සකුවත් නිසා මැ බිහිවිණැ යි කීම නිවැරැදි නො වේ.

පෙර කලැ මෙරටැ විසූ යක්ෂ, නාග, දේව, රාක්ෂස ගෝත්‍රිකයන් වැහැරූ බස පරිණාමය වී, සකුව ද පාළිය ද (පසු වැ තවත් බස් ද) එක්වී අද වැහැරෙන මුසු සිංහළය ගොඩ නැඟුණු බව අප අදහසයි. එහෙයින් පාළියත් සකුවත් සිංහළයේ ‘මාතෘ භාෂා’ ලෙස සැලැකීමට වඩා ‘ප්‍රධාන පෝෂක භාෂා’ ලෙස සැලැකීම මැනවැ යි හැඟේ.

පාළියෙහි ද සකුවේ ද වදන් අප බස හා ‘තත්සම හා තත්භව‘ යන දෙයාකාරයෙන් මැ මුසු වේ. මේ කොයි ලෙසකින් වුව සකු - පෙළ වදන් අප බසට වද්දා ගැනීම බසැ වැඩුමට ද නැඟුමට ද විනා බිඳවැටුමකට හේතු නො වේ. මන් ද යත් හෙළය ද පෙළය ද සකුව ද එක මැ භාෂා පවුලකට අයත් භාෂා ලෙස වාග් විද්‍යාඥයන් විසින් පෙන්වා දී ඇති සෙයිනි. ඔවුනට අනුවැ සිංහළය අයත් වනුයේ ‘ඉන්දු ආර්ය භාෂා පවුලට’ යැ. ඒ නයින් ගත් කලැ පාළි, සංස්කෘත, හින්දි, වංග, දිවෙහි, මරාටි, ගුජරාටි ඈ බස්හු අප බසැ නෑදෑයෝ මැ වෙත්. ඉදින්, නෑදෑයන් අතරැ සබඳතා පැවැත්වීම යහපතකට විනා අයහපතකට හේතු වියැ හැකි ද?

සකු - පෙළ බස්වලැ වදන් ගොර බව සැබැවි. සුමියුරු හෙළය හා ඒ වදන් එලෙසින් මැ මුසු වූ විටැ අප බස ද ගොර වෙයි. සකු - පෙළ වදන් බස ගොර කළ ද, වත්මන බොහෝ සිංහළයනට හුදු හෙළ වදන්වලට වඩා ඒ වදන් සමීප යැ. සුබෝධ යැ. එ සේ හෙයින් සමාජගත වැ ඇති සකු - පෙළ වදන් වැරීමට යෑම ප්‍රායෝගික වැ කළ හැක්කක් නො වෙතැයි හැඟේ. එසේ වුව හැකි හැම තැනැ හුදු හෙළය මැ යෙදිය හැකි නම් වටී.

එසේ නමුදු අප බස වනසන ලෙසින් මෙරැටියන් විසින් මැ සිංහළයට ඉංගිරිසි වදන් වද්දා ගනු පෙනේ. ඉංගිරිසිය නම් සකු, පෙළ බස් මෙන් අප බසැ නෑදෑයෙක් ද නො වේ. ඉංගිරිසිය අවර දෙසි බසෙකි.
ඉංගිරිසි වදන් අප බස හා කිසි ලෙසකින් නො පෑහේ. ඒවා සකු - පෙළ වදන්වලට ද වඩා ගොර යැ : රළු යැ.
මවු බස ලඝු කොටැ තකා එය කෙලෙසීමේ පවිටු සිතැති නූතන පරගැති සිංහළයන් බස නසනුයේ ඉංගිරිසිය පරමෝත්තම තැනෙක ලා සලකමිනි. එහෙයින් සකුව හා පාළිය හෙළයට මුසු වීම ගැනැ වාද – ප්‍රතිවාද කෙරුමට වඩා, ගොර ඉංගිරිසිය සිංහළයට මුසු වීමෙන් වන හානිය ගැනැ විමැසීමට වියතුන් යොමු වියැ යුතු යැයි අපි හඟිමු.

ඉංගිරිසි වදන් අප බසට වද්දා ගතැ යුතු නැතැයි අපි නො කියමු. වද්දා ගතැ යුතු යැ : නැති නම් අප බස නො වැඩේ. එක්කෝ ඉංගිරිසි වදන් පරිවර්තනය කැරැ ගතැ යුතු යැ. නැති නම් අනුවර්තනය කැරැ ගතැ යුතු යැ. මුල් ස්වරූපයෙන් මැ වද්දා ගතැ හොත් යැ කැත.

ඉංගිරිසි වදන් හෙළ වහරට සකසා ගැන්මේ කාරියෙහි යෙදුණු මහා දැවැන්තයෙකි, කුමරතුඟු මුනිදසුන්. එතුමන් පෙරටු හෙළ හවුල ඉංගිරිසි වදන් පරිවර්තනය කළ අයුරු විමැසියැ යුත්තේ මැ යි.
පළමු වැ උදු නියරින් පරිවර්තනය කැරුණු ඉංගිරිසි වදන් කිහිපයක් ගෙනැ බලමු.

Lecturer - වදාරුවා
Governor - රජයුවා
Mathematics - මනුව
Recording - හැටැවීම
Triangle - තෙකොනුව
Geometry - දේමනුව

මේ ටිකකි. තව නිදසුන් බෙහෙවි. ගොර ඉංගිරිසි වදන් හෙළ කටට හා හෙළ වහරට හුරු ලෙසින් නවා අනුවර්තනය කැරැ-ගැන්මට ද සුබැසියෝ සමත් වූ හ.

Conductor - කොන්දොස්තර
Car - කාරය
Lorry - ලොරිය
Bus - බසය
Jam - ජෑමය
Bakery - බේකරිය

මේ ද කිහිපයෙකි. මේ ලෙස හෙළයට නැඟුණු බොහෝ වදන්වලැ වෙසෙසියාවෙක් වෙයි.
එනම් මුල් ඉංගිරිසි වදනෙහි හඬට බොහෝ දුරට සම වුව මනා හෙළ අරුතකින් ද යුතු වීම යි.

Sir - සුරුවා
Science - සොයුන
Number - නම්වර
Music  - මියැසි
Cream - කිරම
ඈ වදන් ඊට මොනවට දෙස් දෙයි.

මේ ලෙස නිදසුන් දක්වා ලූයේ ඉංගිරිසි වදන් හෙළයට වද්දා ගැනීමේ දී කුමරතුඟුන් පෙරටු වැ සිටි හෙළ හවුල ගත් මඟ අද වුව අනුගමනය කළ යුතු බව පෙන්වා දීමට යි.

ස්වාධ්‍යයනය මැ සිය සරසවිය කොටැ ගත් කුමරතුඟුන් මෙතරම් කාරියක් කෙළේ නම්, එතුමන්ට ද වඩා විධිමත් ශාස්ත්‍රීය අධ්‍යාපනයක් ලද නූතන වියතුන්ට කෙතරම් සුවිසල් මෙහෙයක් කළ හැකි ද? නූතන සමාජීය ව්‍යවහාරයේ පැවැතෙන ඉංගිරිසි වදන් පසෙකට ඇදැ දමා ඒ වෙනුවට සුදුසු සිංහළ වදන් සමාජ ගත කිරීමට ඒ වියතුන් අතින් ප්‍රමාණවත් මෙහෙයක් ඉටු වනු නො පෙනේ. එය මැ යි ශෝචනීය තත්ත්වය!

එහෙයින් බස් මරුව දකිනු නොරිසි වැ වහරෙහි පැල පදියම් වැ ඇති ඉංගිරිසි වදන් කිහිපයක්, අප ගේ නැණ පමණින් සිංහළයට නඟන්නට සිතුවෙමු. මේ කාරියේ දී කුමරතුඟු මඟ ගුරු කොටැ ගත් බව දක්වනුයේ බැතිනි. පොදු ජන වහරෙහි සමාජගත වැ ඇති ඉංගිරිසි වදන් හා යෙදුම් වෙතැ වැඩිමැ ඉඩක් දුනිමු.

Telegram - තෙල හසුන
Train - මැදිරි බැඳි රිය
Record bar Voice - සටහු සල
mail  - සර හසුන
Ringing tone - වැයි සරය
Giving a ring-cut /missed call - වැයි සර හැඬැවුම
Teledrama
- තෙල නළුව
Web-site - ජාලාටවිය (ජාල + අටවිය)
Internet cafe - අන්තර්ජාල ගවේෂකාගාරය
Head-phone
- ශීර්ෂ ශ්‍රව්‍යෝපකරණය (සිරසැසිය)
Reality Programme
- තථ්‍යතා වැඩසටහන
Zoo -
පශුද්‍යානය (වනසත් උයන)

අප මේ සමහර යෙදුම් දැක්වූයේ සමාජ ගත වහරෙහි එන දෙමුහුන් යෙදුම් කිහිපයකට විකල්ප වශයෙනි. “වෙබ් අඩවිය”(website), ටෙලි නාට්‍යය (teledrama), ‘රියැලිටි වැඩසටහන’(reality programme) යනාදී ලෙසැ වහරෙහි එන වදන්වලැ පූර්වාර්ධය ඉංගිරිසි යැ. අපරාර්ධය මිශ්‍ර සිංහළ යැ. එසේ අඩක් ඉංගිරිසි වී අඩක් සිංහළ වීම නො ගැළැපෙතැයි හැඟූ සෙයිනි විකල්ප යෙදුම් සැකැසූයේ.

තව ද ’telegram - විදුලි පණිවුඩය’, ’train  යන යෙදුම්වලට විකල්ප යෙදුම් දැක්වූයේ ඒ ඉංගිරිසි වදන්වලට ඔක්ස්ෆඩ් ඉංගිරිසි වදන් කොසුව දක්වන අරුත් ගුරු කොටැ ගනිමිනි. ඒ අරුත් අනුවැ ගත් කලැ ‘ට්‍රේන්’ (train) යන්නට ‘දුම්රිය’ යැ යි කීම හා ‘ටෙලිග්‍රම්’ (telegram) යන්නට ‘විදුලි පණිවිඩය’ යැයි කීම විදුහුරු නො වෙතැ යි හඟිමු.

ඉහතැ දැක්වූ ඉංගිරිසි වදන් හා යෙදුම් සිංහළයට නැඟීමේ දී සුදුසු තැනැ හුදු හෙළයත්, ස්ථානෝචිත වැ මිශ්‍ර සිංහළයත් වෙන් වෙන් වැ භාවිත කෙළෙමු. තව ද කිවැ යුත්තෙකි. අප විසින් කරන ලද අර්ථ දැක්වීම්වල ද අප විසින් සකසන ලද යෙදුම්වල ද කොතෙකුත් දොස් තිබියැ හැකි. ඒ අප ගේ අල්පශ්‍රැත බව නිසාවෙනි. ඒ ගැනැ කමන්නැ! මේ ලිපියෙහි දොස් දැකැ පහන් සිතැති වැ පෙන්වා දීමට වියතුන් යොමු වෙතොත් ඒ සිරිමතුනට බෝ පින් දෙමු.

ඉංගිරිසි වදන් හා යෙදුම් කිහිපයක් අප බසට ගැළැපෙන ලෙසින් සකසා ගන්නට අප දැරූ මේ වැරය, ගොර ඉංගිරිසිය මුසු වී සිදුවන බස් මරුවෙන් සිංහළය ගලවා ගැන්ම සඳහා බසට පෙම් කරන්නවුන් පුබුදුවන්නක් මැ වේවා!

(2010 අගෝස්තු 01 වැනි දා, ඉරිදා සිළුමිණ පුවත්පතේ පුන්කලස අතිරේකයෙහි පළ කැරුණු ලිපියෙකි.)